
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ඉතාලිය සහ එංගලන්තය අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 24 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.
මෙම ජයත් සමග තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමටද එංගලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය ඉතාලියට ජැමී ඕවර්ටන් සහ සෑම් කරන් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ ඕවර්ටන් සහ කරන් කඩුලු 3 බැගින් දවාගත්හ. ජොෆ්රා ආචර් ලකුණු 35 කට කඩුලු 2 ක් බිඳහෙළමින් ඔවුන්ට අනගි සහායක් දුන්නේය.
ඉතාලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බෙන් මනෙන්ති වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 25 කින් ලකුණු 60 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ග්‍රාන්ට් ස්ටෙවාට් පන්දු 23 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය. එහෙත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 202 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහඹයක නිරත වූ විල් ජැක්ස් පන්දු 22 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 53 ක් රැස්කළේය. සෑම් කරන් (25) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ජැක්ස් සමත් විය.
පන්දු 19 කදී වාර්තා වූ කරන්ගේ ඉනිම හයේ පහර 2 කින් සමන්විත වූ අතර ආරම්භක පිතිකරු පිලිප් සෝල්ට් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක්ද, ජෙකොබ් බෙතෙල් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක්ද, ටොම් බැන්ටන් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක්ද රැස්කරමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 202
(පිලිප් සෝල්ට් 28, ජෙකෝබ් බෙතෙල් 23, ටොම් බැන්ටන් 30, හැරී බෘක් 14, සෑම් කරන් 25, විල් ජැක්ස් නොදැවී 53, ජෙමී ස්මිත් 15, ක්‍රිෂාන් කළුගමගේ 41/2, ග්‍රාන්ට් ස්ටෙවාට් 51/2)
ඉතාලි පිල - ඕවර 20 කදී සියලු දෙනා දැවී 178
(ජස්ටින් මොස්කා 43, බෙන් මනෙන්ති 60, ග්‍රාන්ට් ස්ටෙවට් 45, ජැමී ඕවර්ටන් 18/3, සෑම් කරන් 22/3, ජොෆ්රා ආචර් 35/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.