Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත පළමු ඉනිම අත්හිටුවයි

එංගලන්ත පළමු ඉනිම අත්හිටුවයි

editorial - 2021 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර‍ දෙමින් සිටි ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබා එංගලන්තයට වඩ‍ා තවත් ලකුණු 209 ක් පසුපසින්  සිටියේය. 

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 167 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ ස්මිත්‍රි මන්දනා (78) සහ ශෆාලි වෙර්මා (96) ඉන්දියාවට සාර්ථක අරම්භයක් ලබාදුන්හ. එහිදී ශතකය පෙනි පෙනී දැවී ගිය වෙර්මා හයේ පහර 2 කින් සහ හතරේ පහර 13 කින් සිය ඉනිම සැරසූ අතර මන්දනාගේ අර්ධ ශතකයට හතරේ පහර 14 ක් ඇතුළත් විය.

කෙ‍සේ වුවත් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස වෙර්මා දැවී යෑමත් සමග ලකුණු 16 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳවැටීමෙන් ඉන්දීය කණ්ඩායම මහත් අසීරු තත්ත්වයකට පත්විය. එහිදී පූනම් රවුට් (2), ශීඛා පාණ්‍ඩේ (2) සහ නායිකා මිතාලි රාජ (2) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යෑම ඉන්දීය කණ්ඩායමට විශාල පාඩුවක් විය.

දෙවැනි දිනය නිමාවට පත්වන විට හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 4 ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි දීප්ති ශර්මා ලකුණු ලබා නොසිටියාය.  දක්ෂ පන්දු යැවීමක නිරත වූ එංගලන්ත කණ්ඩායමේ නායිකා හීදර් නයිට් නිලකුණු ඕවර 5 ක් සමග ඕවර 6 ක් යවමින් එක් ලකුණකට කඩුලු 2 ක් දවාගත්තාය.

මංගල තරගයට එක්වූ සොෆියා ඩන්ක්ලිගේ අර්ධ ශතකයත් (නොදැවී 74) සමගින් දිවා ආහාරයෙන් ටික වේලාවකට පසුව ඉනිම අත්හිටුවන විට එංගලන්ත කාන්තා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 396 ක් රැස්කර සිටියේය.

පන්දු 127 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් මංගල තරගයේදීම තමන්ගේ පිත්තේ හයිය පෙන්වූ සොෆියා ඩන්ක්ලි ඉනිම අත්හිටුවනවිට හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් ලබාසිටියාය. සොෆියා ඩන්ක්ලිට අනගි සහයක් ලබාදුන් ඈන්යා ශ්‍රබ්සෝල් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරෙර් පහර 6 ක් සමගින් වේගවත් ලකුණු 47 ක් ලබාසිටියදී දැවී ගියාය.

සොෆියා ඩන්ක්ලි සමගින් එක්වූ ඈන්යා ශ්‍රබ්සෝල් 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්වූවාය.

පළමු දිනට ඊයේ (16 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 කට ලකුණු 269 ක් එංගලන්ත කාන්තා කණ්ඩායම රැස්කර සිටියේය. ඔව්හු අද දිනයේදී කඩුලු 3 ක් අහිමිකර ගත්තද තවත් ලකුණු 127 ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්වූහ.

ඊයේ තරගය නතර කරන විට සොෆියා ඩන්ක්ලි සමගින් අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහරදුන් කැතරින් බ්‍රන්ට්ගේ (8) ඉනිම අද උදෑසන යවන ලද දෙවැනි ඕවරයෙන් අවසන් විය.

ඉන්පසු පන්දුවට පහරදීමට පැමිණි සොෆී එක්සලේටන් සමගින් එක්ව 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සොෆියා ඩන්ක්ලි සමත්වූවාය. සොෆී එක්සලේටන් දැවීයන විට හතරේ පහරක් සමගින් ලකුණු 17 ක් ලබා සිටියාය.

එංගලන්තය - පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 396
(ලෝරීන් වින්ෆීල්ඩ්-හිල් 35, ටැමී බියුමන්ට් 66, හෙදර් නයිට් 95, නැට් සීවර් 42, සොෆියා ඩන්ක්ලි නොදැවී 74, ඈන්යා ශ්‍රබ්සෝල් 47, ස්නේ රානා 131/4, දීප්ති ෂර්මා 65/3, පූජා වස්ත්‍රකාර් 53/1, ජුලාන් ගෝස්වාමී 58/1)


අදහස් (0)

එංගලන්ත පළමු ඉනිම අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.