Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උසෙයිත් රන් සොයා යයි
ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං

උසෙයිත් රන් සොයා යයි

editorial - 2025 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ නමවැනි දිනය වූ අද (21 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවුදෙනෙකුම පරාජයට පත්වෙද්දී, තමා නියෝජනය කළ බර පංතියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම‍ට මොහොමෙඩ් උසෙයිත් සමත් විය. 

වයස 22 න් පහළ කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ අවසන් පූර්ව තරගයට සහභාගි වූ උසෙයිත්, එම ඉසව්වේ අවසන් මහ තරග‍යට සුදුසුකම් ලැබුවේ කිරිගිස්ථානයේ ඩැනියෙල් අබ්ඩ්‍රක්මනොව්ට එරෙහිව ලකුණු 5-0 ක ජයක් ලබමිනි. අනිද්දා (23 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඔහු කසකස්ථානයේ අමාන් කොන්ස්බෙකොව්ට එරෙහිව තරග වැදීමට නියමිතය.

මෙම තරගාවලියේ අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබූ එකම ක්‍රීඩකයා උසෙයිත් වන අතර සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාම මූලික වටයේදී සහ අවසන් පූර්ව වටයේදී පරාජයට පත් වූහ. අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වූ ක්‍රීඩකන්ට ලෝකඩ පදක්කම් හිමිවූ අතර අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම හේතුවෙන් උසෙයිත්ට රන් හෝ රිදී පදක්කමක් සඳහා තරග වැදීමට අවස්ථාව උදා විය.   

ඊයේ පැවැති සෙසු අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන අකිල දසුන්ප්‍රියට (කි.ග්‍රෑ. 48 බර පංතිය), උමයංග මිහිරාන්ට (කි.ග්‍රෑ. 51 බර පංතිය), අෂේන් ෂෙහාරට (කි.ග්‍රෑ. 54 බර පංතිය) සහ දේෂාන් ජයසුන්දරට (කි.ග්‍රෑ. 60 බර පංතිය) ලෝකඩ පදක්කම් වලින් සෑහීමකට පත්වීමට සිදුවූහ. ඒ අනුව මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනා ඇති ලෝකඩ පදක්කම් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගියේය.

එම තරගවලිදී පිළිවෙළින් උස්බැකිස්ථානයේ බෙහෙරුස් හොල්ඩරොව්, තජිකිස්ථානයේ මෙරොජ් සුෆිජොනොව්, පාකිස්තානයේ උමාර් රාසා ඛාන් සහ කසකස්ථානයේ නුරිස්ලම් කල්ඩිබයෙව් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ප්‍රතිවාදීන් බවට වූහ. එහිදී අකිල, උමයංග සහ අෂේන් ලකුණු 5-0 ක් ලෙසද, දේෂාන් පළමු වටයේදීම විනිසුරු තරගය නතර කිරීමෙන්ද පරාජයට පත්වූහ.

‍හෙට දිනයේදී (22 වැනිදා) යොවුන් කාණ්ඩ‍යේ අවසන් තරග 25 ක් පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඒ.එච්.ඒ. විජේසිංහ කිලෝ ග්‍රෑම් 63 බර පංතිය යටතේ රන් හෝ රිදී පදක්කම් සඳහා තරග වදිනු ඇත. ක්‍රීඩිකාවන් තිදෙනෙක් පමණක් සහභාගි වී සිටි එම ඉසව්වේ අවසන් පූර්ව වටයේදී නිතර ජයක් ලැබූ විජේසිංහ, මෙම තරගාවලියේදී තරග වදින පළමු තරගයද මෙය වනු ඇත. එහිදී ඇය කසකස්ථානයේ ඇලීනා කුඩයිගෙනෝවාට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.  

 

උමයංග මිහිරාන්...

 

අෂේන් ෂෙහාර...

 

දේෂාන් ජයසුන්දර...


අදහස් (0)

උසෙයිත් රන් සොයා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.