Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උරුගුවේ ක්‍රීඩකයෝ රොනාල්ඩෝ ගෙදර යවති

උරුගුවේ ක්‍රීඩකයෝ රොනාල්ඩෝ ගෙදර යවති

Nisanka Sandeepani - 2018 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ලෝක කුසලාන සිහිනය බොඳ කර දැමූ උරුගුවේ ක්‍රීඩකයෝ පිළිමළුන් පිටුදැකීමේ වටයේ පළමු තරගයෙන්ම ගෝල 2-1 ක පෙරළිකාර ජයක් වාර්තා කරමින් ප්‍රංශය සමග පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය. පෘතුගාලයට මේ අභාග්‍යයට මුහුණ පෑමට සිදුවූයේ ලයනල් මෙසී ඇතුළු අර්ජන්ටිනා පිල තරගාවලියෙන් ඉවතට විසිවීමේ උණුසුම මැකී යාමටත් පෙරය.

පූර්ව අනාවැකි සුණුවිසුණු කරමින් ඕනෑම දෙයක් සිදුවිය හැකි පිළිමළුන් පිටුදැකීමේ වටයේ පළමු තරගයෙන් ආර්ජන්ටිනාව ප්‍රංශය හමුවේ පරාජය වී සිටියේය. පෘතුගාලයේ ඉරණම තීන්දු වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිවාදීන් අන්දමන්ද කළ ගෝල අතරට අලුතින්ම එක්වූ එඩින්සන් කවානිගේ ඉස්තරම් ගෝල දෙකකිනි. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එවන් ගෝල අඩුවැඩියක් නොමැතිවම දකින්නට ලැබිණ.

පිටියේ ඈත කොණක සිට ලුවිස් සුවාරිස් විසින් ඉහළින් එවන ලද පන්දුව පෘතුගාල ගෝල සීමාවට මඳක් එපිටින් පතිත වන්නටත් පෙරම තම හිසින් ලබාගත් කවානි පළමු ගෝලය ලබා ගත්තේ 7 වැනි මිනිත්තුවේදීය.

ගෝල 1-0 කින් තරගයේ පළමු භාගයේ පෙරමුණ ගත් උරුගුවේ පිල හමුවේ දෙවැනි භාගයේදී වඩාත් සැලසුම් සහගතව ක්‍රීඩා කළ පෘතුගාලය වෙනුවෙන් 55 වැනි මිනිත්තුවේදී පෙපේ ලබාගත් ගෝලව නිසා තරගය 1-1 කින් සම විය. ඉන් පසුව තරගය නැවතත් විවෘත ස්වභාවයක් ගත් අතර සොචී නුවර ෆිෂ්ට් ඔලිම්පික් ක්‍රීඩාංගණයට රැස්වූ ක්‍රීඩාලෝලීන් වැඩිදෙනකු සිටියේ සිය ආසන වල නොව, පා ඇඟිළි තුඩු මත සිටගනිමින් ආසනයෙන් මඳක් ඉහළට එසවීය. 

තරගය සමවීමෙන් මිනිත්තු 7 කට පසුව තරගයේ වාසිය යළි සිය කණ්ඩායම දෙසට හැරවූ කවානි පෘතුගාල ගෝල රකින්නා වන රූයි පැට්රීෂියෝ මුළා කරමින් කණුව අසළින්ම සිය දෙවැනි ගෝලයත් ලබාගත්තේය. 

තරගයේ පළමු භාගයේදී අගනා නිදහස් පහරකුත් දෙවැනි භාගයේදී දැල පෙනෙන නොපෙනෙන මායිමේ දී තවත් අවස්ථා කිහිපකුත් පෘතුගාලයට ලැබුණත් ඒ සියලු උත්සාහයන් අපතේ ගියේය.

කවානිගේ පෙරළිකාර ගෝල ද්විත්වයෙන් බිමටම ඇද වැටුණු පෘතුගාලයට නැවතත් හිස එසැවීමට ඉඩක් ලැබුණේම නැත. කවුරුත් බලා සිටි පෘතුගාලයේ එකම තුරුම්පුව වූ රොනාල්ඩෝට ඊයේ තරගයේදී හැරෙන්නටවත් ඉඩක් නොලැබීම කැපී පෙනුණි. ගෝල ත්‍රිත්වයක් ද සමගින් මෙතෙක් ගෝල 4ක් වාර්තා කරමින් තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වී සිටි රොනාල්ඩෝට ගෙදර යාමට සිදුවූයේ හිස් අතිනි.

ලෝකයේ ප්‍රධානතම පාපන්දු පිටියේදී සිය 38 වැනි තරගයට එක්වූ 33 හැවිරිදි රොනාල්ඩෝට ගෝලයක් තබා තම සගයකුට සහයක් ලබාදීමටවත් හැකියාවක් නොලැබීම විශේෂත්වයකි. පෘතුගාලයේ එකම ගෝලය වාර්තා කළ පෙපේ ප්‍රධාන තරගාවලියකදී ගෝලයක් ලැබූ වයස්ගතම පෘතුගාල ක්‍රීඩකයා බවට පත්විය. ඔහුගේ වයස අවුරුදු 35 කුත් දින 124 කි. 

වසර 2022 දී කටාරයේ පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙද්දී රොනාල්ඩෝට වයස 37 ක් වෙයි. ඒ අනුව පැහැදිලි වන්නේ ඊයේ තරගය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගය විය හැකි බවයි. 

“ක්‍රිස්ටියානෝට තවම පාපන්දු ක්‍රීඩාවට ගොඩාක් දේවල් දෙන්න පුළුවනි. මං හිතනවා ඔහු පෘතුගාලයේ සංවර්ධනය වන තරුණ ක්‍රීඩකයන්ට උදව් කරන්න ඉදිරිපත් වේවි කියලා.”  යයි රොනාල්ඩෝගේ හංස ගීතය ගැන ඉඟියක් කරමින් තරගයෙන් පසුව එසේ කීවේ පෘතුගාල පිලේ කළමනාකරු ෆර්නැන්ඩෝ සැන්ටෝස්ය.

in-1 in-2

- 077


අදහස් (0)

උරුගුවේ ක්‍රීඩකයෝ රොනාල්ඩෝ ගෙදර යවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.