Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්

උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්

Nisanka Sandeepani - 2018 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 137 ක දැවැන්ත පරාජයක් ලැබීමට ප්‍රධානතම හේතුව වූයේ ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම බව නොරහසකි. එම තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් අත්හරින ලද උඩ පන්දු සංඛ්‍යාව 4 කි. 

ශ්‍රී ලංකා පිල මුහුණ දුන් බරපතළම හානිය වූයේ මුෂ්ෆිකුර් රහීම් ලකුණු 10 ක් ලබා සිටියදී (10 වැනි ඕවරයේදී) තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ දුන් පහසු උඩ පන්දුවක් ස්ක්වෙයාර් ලෙග් ස්ථානයේ පන්දු රකිමින් සිටි ඩිල්රුවන් පෙරේරා අතින් ගිළිහී යෑමයි. රහීම්ගේ ෆ්ලික් කිරීමකින් තමා වෙත ඇදී ආ පහසු උඩ පන්දුව අත්හැරීමත් සමග ඩිල්රුවන්ගේ පන්දු රැකීමේ දුර්වලතාව මොනවට ප්‍රදර්ශනය විය. 

ඕවර 10 ක් නිමා වී තිබුණද ඒ වන විට බංග්ලාදේශ ලකුණු පුවරුවේ සටහන් වූයේ කඩුලු 2 කට ලකුණු 22 ක් ලෙසිනි. පසුව ලකුණු 144 ක් රැස්කළ මුෂ්ෆිකුර් රහීම් තරගයේ වීරයා බවටද පත්විය. 

බංග්ලාදේශ ඉනිමේ 27 වැනි ඕවයේදී අමිල අපොන්සුගේ පන්දුවක් හමුවේ මහමදුල්ලා රියාද් දවාගැනීම සඳහා පසුපසට පනිමින් අනගි උඩපන්දුවක් රැකගත් ධනංජය ද සිල්වා, ඉන් ඕවර 10 කට පසු එනම් 37 වැනි ඕවරයේදී තමාගේම පන්දුවක් හමුවේ තමා අතටම මුෂ්ෆිකුර් රහීම් දුන් පහසු උඩපන්දුවක් රැක ගැනීමට අසමත් විය. එම උඩ පන්දුව දෙන විට රහීම් ලකුණු 85 ක් ලබා සිටි අතර බංග්ලාදේශ කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ 183 කට කඩුලු 6 ක් ලෙසිනි. 

ඒ මොහොතේ රහීම් දැවී ගියා නම් ලකුණු 183 කට බංග්ලාදේශ ඉනිමේ 7 වැනි කඩුල්ලත් බිඳ වැටෙන අතර ටමීම් ඉක්බාල්ගේ මැණික් කටුව පිපිරීමකට ලක්ව තිබූ බැවින් පන්දුවට පහර දීමේ අපහසුතාවෙන් සිටියේය. 

පළමු ඕවරයේ පස්වැනි පන්දුවේදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස්ගේ සහායද ඇතිව ආරම්භක පිතිකරු ලිටන් දාස් දවාගත් ලසිත් මාලිංග, එම ඕවරයේම අවසන් පන්දුවේදී සකීබ් අල් හසන්ගේ කඩුල්ලද බිඳ දමමින් ඔවුන් දෙදෙනාම ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කළේය. පළමු ඕවරය අවසන් වන විට බංග්ලාදේශ කණ්ඩායම එක් ලකුණකට කඩුලු 2 ක් බිඳවැටී ඉතා අසීරු තත්වයකට පත්විය.  

තෙවැනි ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්කිරීමට මාලිංග සමත් වීමත්, දෙවැනි සහ සිවුවැනි ඕවර යැවූ සුරංග ලක්මාල් එම ඕවර දෙක ලකුණු 5 කට සීමා කිරීමත් සමග ඒ වන විට කඩුල්ලේ රැදී සිටි බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනා මහත් පීඩනකට පත්ව සිටියහ. එවැනි අවස්ථාව තවත් කඩුල්ලක් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමේ පීඩනය වැඩි කිරීමට තිබූ අනගි අවස්ථාවන් දෙකක්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිළිහී ගියේද දුර්වල පන්දු රැකීම හේතුවෙනි. 

පස්වැනි ඕවරය ආරම්භ වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 6 ක් ලබා සිටි අතර ආබාධයකට ලක්වූ ටමීම් ඉක්බාල් පිටියෙන් ඉවත්ව යෑමෙන් පසු පන්දුවට පහරදීමට පැමිණි මොහොමඞ් මිතුන් ලබා සිටියේ එක් ලකුණක් පමණි. 

ලසිත් මාලිංග යැවූ එම ඕවරයේ තෙවැනි පන්දුවේදී මිතුන් ලබාදුන් තරමක් අසීරු උඩ පන්දුවක් මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි නායක ඇන්ජලෝ මැතිව්ස් අතින් ගිළිහී ගියේ මිතුන්ට සිය මංගල අර්ධ ශතකය කරා යෑමට මඟ සලසා දෙමිනි. කෙසේ වුවත් ජාත්‍යන්තර තරගයකදී එවන් උඩපන්දුවක් අත්හැරීම මැතිව්ස් වැනි ක්‍රීඩකයකු අතින් සිදු නොවිය යුත්තක් බව රූපවාහිනී විස්තර විචාරකයෝ කීහ. 

එම ඕවරයේම අවසන් පන්දුවේදී මිතුන් නැවතත් ෆයින් ලෙග් කළාපයට උඩ පන්දුවක් දුන් නමුත් එහි පන්දු රකිමින් සිටි අමිල අපොන්සු එම උඩ පන්දුව රැකගැනීමට අපොහොසත් විය. එය නිපන්දුවක් වූවත් උඩපන්දු රැකගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. එම පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරුවරයා සංඥා කිරීමත් සමග බංග්ලාදේශ කණ්ඩායමට නිදහස් පහරක්ද හිමිවිය. 

තමාට හිමිවූ අවස්ථා දෙකෙන්ම නිසි ඵල නෙලාගත් මිතුන්, නතර වුයේ බංග්ලාදේශ ඉනිමේ තෙවැනි කඩුල්ල සඳහා මුෂ්ෆිකුර් රහීම් සමග එක්ව පන්දු 141 කදී ලකුනු 131 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමෙන් අනතුරුවය. 

-036


අදහස් (2)

උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.