Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉවසීමෙන් ඉන්න - දියුණුවෙනවා බලන්න

ඉවසීමෙන් ඉන්න - දියුණුවෙනවා බලන්න

editorial - 2021 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම දෙවැනි විස්සයි-20 තරගයත් පරාජය වීම නිසා තරගාවලිය පරාජය වූවත් ඉවසීමෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් මහතා කියයි.

කාඩීෆ් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලත් පරාජය, 2019 ඔක්තෝබරයේ සිට විස්සයි-20 තරග 12 කදී ලත් 11 වැනි පරාජයයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් පුහුණුකරුවාට බලාපොරොත්තු තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට විස්සයි-20 තරගයක් ජයගත්තේ මේ වසරේ මාර්තු මස 05 වැනිදා කොදෙව් පිලට එරෙහිවය. එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 160 ක් ලබාගත් අතර කොදෙව් පිතිකරුවන් ලකුණු 117 කට සීමා කළේ තරගයේ වීරයා වූ වනිඳු හසරංගගේ සාරථක පන්දු යැවීම හේතුවෙනි.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේ පළමු තරග දෙකේදීම කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දුවට පහර දුන් නමුත් ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 129 ක් සහ 111 ක් පමණි. වසර 2006 දී ආරම්භ වූ ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ප්‍රහාරාත්මක ඕවර 6 දී හතරේ පහරක් ගැසීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි වූයේත් පසුගිය බ්‍රහස්පතින්දා (24 වැනිදාය). එම තරගයේදී පළමු හතරේ පහර ආවේ පන්දු 45 කට පසුවය.

තරගාවලිය ආරම්භ වීමට පෙරම, පුහුණුකරු මිකී ආතර් මහතා කියා සිටියේ ක්‍රීඩකයන්ගේ වගකීම් වරින් වර මාරු කරනවාට වඩා ඔවුන්ට ස්ථාවර වීමට අවස්ථවක් දිය යුතු බවත්, එක් එක් ක්‍රීඩකයන්ගේ වගකීම සහ කාර්යභාරය ස්ථාවරවම ඔවුන්ට පැවරිය යුතු බවත්ය. එසේ කියමින් නායක කුසල් ජනිත් පෙරේරා අංක 3 ස්ථානයට කැඳවූ නමුත් දැකගත හැකිවූයේ කුසල් පමණක් වගකීම බාරගත් බවකි.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක (19 සහ 0), අවිශ්ක ප්‍රනාන්දු (03 සහ 06) දෙදෙනාම අසාර්ථක වූහ. පළමු තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් දසුන් ශානකට දෙවැනි තරගයේදී ලබාගත හැකිවූයේ ලකුණු 8 කි.

මේ සම්බන්ධයෙන් මිකී ආතර් මහතා කියන්නේ වෙනත් කතාවකි.

“ඔවුන් ඉදිරි තරග වලදී මීට වඩා ක්‍රියාශීලී වේවි.. අනෙක ලෝකයේ අංක 1 කණ්ඩායමට එරෙහිව පැවැති ඒ (දෙවැනි) තරගයේදී ලකුණු ලබාගැනීමේ ඒ තරම් අවස්ථා අපේ පිතිකරුවන්ට තිබුණේ නෑ” යයි ද පුහුණුකරුවා පැවසීය.

පරාජයට හේතුව කුමක්ද යන්න බී.බී.සී. පුවත් සේවයේ වාර්තාකරුවකු  විමසූ අවස්ථාවේදී ආතර් මහතා කීවේ “ලකුණු ගත්තා මදි” කියාය.

“අපි තරග කරන්නේ ඉතාමත් හොඳ පන්දු යැවීමේ බලඇණියකට එරෙහිව. ඔවුන් ලෝකයේ අංක 1. අපි ලෝකයේ අංක 9. වෙනස පැහැදිළියිනේ.... අපි මේ ගමන පටන් ගත්තේ තරුණ ක්‍රීඩකයන් පිරිසක් එක්ක. එතකොට අපට තියෙන්නේ කාලයත් එක්ක ඔවුන් වඩාත් හොඳ තත්ත්වයකට එන දිහා බලා ඉන්නයි” යයිද හෙතෙම පැවසීය.

“ඒක ටිකක් අමාරු වැඩක්. අපි හැම වෙලාවෙම නිදහස ගැන කතා කරනවා. පිතිකරුවන් හිර කරලා තියෙන දේවලින් ඔවුන් නිදහස් කිරීම ගැන කතා කරනවා. ඒත් පන්දුවට පහර දෙන්න වෙන්නේ පන්දුව එන හැටියටයි...”

“එංගලන්ත පන්දු යවන්නන් පන්දුව පතිත කරන ආකාරය සම්බන්ධයෙන් ලෝකයේ ඉහළින්ම සිටිනවා. එමගින් ඔවුන් අපව විශාල පීඩනයකට ලක්කරලා තියෙනවා” යයිද මිකී ආතර් මහතා පැවසීය.

කෙසේ වෙතත් පන්දු යැවීමේදී පුහුණුකරුවාට බලාපොරොත්තු තිබේ. දුෂ්මන්ත චමීර දිගින් දිගටම තමන්ගේ වේගය වැඩිකරගත් අතර තරග දෙකේදීම පන්දුවේ ඉපිළීම මෙන්ම දෝලනයද හොඳින් උපයෝගී කරගත්තේය. වනිඳු හසරංග ඉතා සාර්ථක පන්දු යැවීමක යෙදෙයි. තරගාවලිය පුරාම ඔහුගේ පන්දු හමුවේ ඕවරයකදී ලබා ඇත්තේ ලකුණු 4 ක් පමණි.

එලෙසින්ම පන්දු රැකීමේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පැහැදිළි දියුණුවක් දක්නට තිබේ. එය බොහෝ විට ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් දක්වන දැඩි සීමා හේතුවෙන් විය හැකිය.
“මා හිතන්නේ අපි හොඳින් පන්දු යැව්වා.”

“ඒ වගේම අපේ පන්දු රැකීමත් ඉහළට ගිහින් තියෙනවා. පන්දු රැකීම කියන්නේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩකයකු දරන ආකල්පයයි. එක බලාගන්න පුළුවන්...”

“මා හිතන්නේ ක්‍රීඩකයන් දිනෙන් දින දියුණුවට පත්වෙමින් සිටිනවා. අපේ පන්දු යවන්නන් දෙන්නෙකුත් මේ වන විට ආබාධ වලට ලක්වෙලා තියෙන්නේ. ඔවුන් ආවම තත්ත්වය තවත් හොඳ වේවි” යයිද මිකී ආතර් මහතා පැවසීය.

-  213

 


අදහස් (0)

ඉවසීමෙන් ඉන්න - දියුණුවෙනවා බලන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.