Last Update  :  2025-05-02 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දු - පාකිස්තාන ගැටුමෙන් සාග් ක්‍රීඩා උළෙල නොකෙරෙන තැනට

ඉන්දු - පාකිස්තාන ගැටුමෙන් සාග් ක්‍රීඩා උළෙල නොකෙරෙන තැනට

editorial - 2025 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාව හා පාකිස්ථානය අතර මේ වන විට නිර්මාණය වෙමින් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් පාකිස්තානයේ සත්කාරයෙන් එළඹෙන ජනවාරියේදී පැවැත්වීමට නියමිත15 වැනි සාග් (දකුණු ආසියානු) ක්‍රීඩා උළෙල යළිත් කල් යාමේ හෝ අවලංගු වන තත්වයක් උද්ගතව තිබෙන බව වාර්තාවේ.

සාග් ක්‍රීඩා උලෙල 2026 ජනවාරි 23 සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට පසුගිය පෙබරවාරි 24 වැනිදා එහිදී රැස්වූ දකුණු ආසියානු ඔලිම්පික් සභාවේ විධායක සභාව නිල වශයෙන් තහවුරු කළේය. ඊට ඉන්දීය ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන්ද සහභාගි වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එම රැස්වීමට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා එහි ක්‍රීඩකයන්ගේ අනු කමිටුවේ සභාපති නිලූක කරුණාරත්න යන මහත්වරු සහභාගි වූහ.

ලංකාදීපයට අද (2) අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා උද්ගතව පවතින තත්වය හමුවේ ක්‍රීඩා උළෙල යොදා ගත් පරිදි පැවැත්වීමේ දැඩි අවිනිශ්චිත තත්වයක් ගොඩ නැගෙමින් පවතින බව පැවැසීය.

"මම හිතන්නෙත් ක්‍රීඩා උළෙල ඉස්ලාමාබාද් නුවරදී යොදා ගත් පරිදි  සංවිධානය කිරීමේ බාධාවක් ඒ හේතුවෙන් පැන නැගෙමින් තිබෙන බවයි. ඒත් මීට එහා ඒ ගැන වෙන යමක් දැන්ම කියන්න අමාරුයි. 

පකිස්ථානයේ ලාහෝර් නගරයේ සත්කාරයෙන් 15 වැනි සාග් ක්‍රීඩා උළෙල   පැවැත්වීමට 2023 සිට ගත් සියලු උත්සහයන් අසාර්ථකවී තිබියදී  ඉන්දියාව හා පාකිස්තානය අතර අලුතෙන් හට ගත් විරසකය එය තවදුරටත් උත්සන්න කිරීමට හේතුවී තිබේ.

මෙම තත්වය තුළ ඉන්දියානු ක්‍රීඩා කණ්ඩායම් ඉස්ලාමාබාද් නුවරට පිටත් කර හැරීමේ සම්භාවිතාව ඉතාමත් අල්ප තත්වයක් කරා පැමිණෙමින් පවතී. කලාපයේ බලවතා වන ඉන්දියාව නොමැතිව ක්‍රීඩා උළෙල  පැවැත්වීමේ ඉඩකඩක්ද නොමැති බව එහිදී ඔවුන්ගේ වැඩිදුරටත් අදහසය.

සාග් ක්‍රීඩා උළෙල අවසන් වරට (14 වැනි සාග් ක්‍රීඩා උළෙල) පැවැත්වූයේ නේපාලයේ කත්මන්ඩු නුවරදීය. ඒ 2019 දෙසැම්බර් මාසයේදීය.  2020 සිට පැන නැගුණු ‘කොවිඩ්-19‘ වසංගතයද එය වසර කීපයකින් ආපස්සට දැමීමට ප්‍රධානතම බලපෑමක් කළේය.

අභ්‍යන්තර ප්‍රශ්න හේතු කොට ගෙන සාග් ක්‍රීඩා උළෙල අවස්ථා කිහිපයකදීම කල්දැමුණු නමුත්  කලාපයේ ක්‍රීඩා  බලධාරීන්ගේ පොදු එකඟත්වය අනුව, 2026 ජනවාරි 23 සිට 31 වැනිදා දක්වා ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට තීරණය කෙරිණ. ඒ සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් නුවරට රැස්වූ එරට ජාතික ඔලිම්පික් කමිටුව අවසන් තීන්දුවක් ගත්තේය. මෙම ක්‍රීඩා උළෙල වෙනුවෙන් යටිතල පහසුකම් සඳහා පාකිස්තාන රජය පාකිස්තානු රුපියල් බිලියන 3.5 කට ආසන්න වැයක් දරන බවත් එහිදී ප්‍රකාශ විය.

මීට පෙර පාකිස්ථානය 1989 සහ 2004 වසරවලදී සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය දරා තිබේ. 

ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගත වෙමින් පවතින මෙම යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න වූවහොත් ඉන්දියාව ක්‍රීඩා උළෙලන් ඉවත්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ හැකිය. එහෙත් මෙතෙක් පැවැති සියළු සාග් ක්‍රීඩා උළෙල සදහා කලාපයේ සියළුම රටවල් සහභාගිවී තිබේ.

15 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය අවශ්‍ය වූවහොත් ශ්‍රී ලංකාව බාර ගැනීමට හැකියාවක් තිබේදැයි සුරේෂ් සුබ්‍රමනියම් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ මේ අවස්ථාවේදී එය ශ්‍රී ලංකාවට ඉතා දුෂ්කර කටයුත්තක් වන බැවින් එවැනි යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් එය ප්‍රතික්ෂේප කිරීමට සිදු වන බවයි.  කෙසේවූවත් 2027 ට යෙදෙන 16 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය නිල වශයෙන් හිමිවීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවටටය. 

මීට පෙර 1991 සහ 2006 යන වසර වලදී පැවැති සාග් ක්‍රීඩා උළෙල සත්කාරය දැරුවේ ද ශ්‍රී ලංකාවයි.


අදහස් (0)

ඉන්දු - පාකිස්තාන ගැටුමෙන් සාග් ක්‍රීඩා උළෙල නොකෙරෙන තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.