
අවසන් ඕවර 5 දී යැවූණු පන්දු 30 කින් ලකුණු 66 ක් උදුරාගත් ඉන්දීය කාන්තාවෝ, තිරුවනාතපුරම්හිදී ඊයේ (30 වැනිදා) පැවැති පස්වැනි විස්සයි-20 තරගයේදීත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 15 කින් පරාජය කළහ. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී ඉන්දීය කාන්තාවෝ 5-0 ක ලෙසින් ජය අත්කර ගත්හ.
ඉන්දීය කාන්තා ඉනිමේ 15 වැනි ඕවරය නිමාවන විටත් පුවරුවේ තිබුණේ ලකුණු 109 කි. එහෙත් එතැන් සිට යැවුණු පන්දු 30 ට හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් ගැසූ ඉන්දීය කාන්තාවෝ, කණ්ඩායම් දෙකේ වෙනස එතැනින් නිර්මාණය කරගත්හ. අවසන් ඕවර 5 දී ඉන්දීය කාන්තාවන්ට ලකුණු 66 ක් ලබාගත හැකිවූ නමුත් ශ්‍රී ලංකා කාන්තාවන්ට සිය අවසන් ඕවර 5 න් ලබාගත හැකිවූයේ ලකුණු 48 කි.
ශ්‍රී ලංකා කාන්තා ඉනිම අර්ධ ශතක දෙකකින්ම සවිමත් වූ නමුත් කණ්ඩායම ජයග්‍රහණය කරවීමට එය ප්‍රමාණවත් නොවීය. 15 වැනි ඕවරය නිමාවේදී ලකුණු 112 ක් ලබා සිටි ශ්‍රී ලංකා කාන්තාවෝ ඕවර 20 ක් නිමාවේදී ලබාගත්තේ ලකුණු 160 කි.
ලකුණු 176 ක ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ නායිකාව, චමරි අතපත්තු, දෙවැනි ඕවරයේදීම දැවි ගියාය. ඒ වන විටත් පුවරුවේ සටහන් ව තිබුණේ ලකුණු 07 කි. හසිනි පෙරේරා (පන්දු 42 කින් ලකුණු 65) සහ ඉමේෂා දුලානි (පන්දු 39 කින් ලකුණු 50) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ඉමේෂාගේ දැවී යාමෙන් පසුව පැමිණි පිතිකාරිණියන්ට තමන් හමුවේ තිබුණු අභියෝගයට මුහුණදිය නොහැකි විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දු යැවීම තෝරාගැනීමෙන් පසුව ඉදරිපෙළ කඩුලු 3 ක් දැවී ගිය නමුත් ඉන්දීය කාන්තාවෝ රිසි සේ ලකුණු ලබාගනිමින් සිටියහ. 7 වැනි ඕවරයේදී හර්ලින් ඩියොල් දැවී යන විට ලකුණු පුවරුව ලකුණු 42 කට කඩුලු 3 ක් ලෙසින් දිස් වූ නමුත් ඒ වනවිට ලකුණු ලබාගැනීමේ වේගය 6.8 ක් ආසන්නයේ තිබිණ.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන සිටි ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් ලකුණු ලබාගැනීමේ වගකීම සිය කර පිටට ගෙන තිබිණ. පන්දු 43 කින් ලකුණු 68 ක් ලබාගත් හර්මන්ගේ පිතිහරඹයට හතරේ පහර 9 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
ඉන්දීය කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 7 ට 175 යි
(ගුනාලන් කමලිනි 12, හර්ලීන් ඩියොල් 13, හර්මන්ප්‍රීත් කෞර් 68, අමන්ජෝත් කෞර් 21, අරුන්දතී රෙඩ්ඩි නොදැවී 27, කවීෂා දිල්හාරි 11/2, රශ්මිකා සෙව්වන්දි 42/2, චමරි අතපත්තු 21/2)
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 7 ට 160 යි
(හසිනි පෙරේරා 62, ඉමේෂා දුලානි 50, රශ්මිකා සෙව්වන්දි නොදැවී 14)
ඡායාරූපය - ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්රහයෙනි
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.