Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති
ඉන්දු - ලංකා 2 වැනි වි20 තරගය

ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2022 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමටද ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 126 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ නායිකා හර්මන්ප්‍රීත් කෝර් පන්දු 32 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 31 ක් රැස්කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූ ආරම්භක පිතිකාරිණී ස්මි්‍රති මන්දනා පන්දු 34 කදී ලකුණු 39 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි. ශෆාලි වෙර්මා පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද, සභිනේනි මේඝනා පන්දු 10 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 17 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය දැක්වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 125 ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා ලකුණු අතරට පැමිණියද, මැද පෙළ පිතිකාරිණියන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට 150 සීමාව කරා යෑමට තිබූ අවස්ථාව අහිමි විය.

නායිකා චමරි අතපත්තු (43) සහ ලාබාල ක්‍රීඩිකා විෂ්මි ගුණරත්න (45) එක්ව ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 83 කදී ලකුණු 87 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදී පන්දු 41 කට මුහුණදුන් චමරි හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 50 කදී වාර්තා වූ විෂ්මිගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 106 ක්ව තිබියදී දෙවැනි කඩුල්ල ලෙස හර්මන්ප්‍රීත් කෝර්ගේ පන්දුවක් හමුවේ ඇය අතටම උඩ පන්දුවක් දෙමින් විෂ්මි දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 14 ක් එක්වන විට පිතිකාරිණියන් 5 දෙනෙකුම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත් වූහ.


ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 125
(විෂ්මි ගුණරත්න 45, චමරි අතපත්තු 43, දීප්ති ශර්මා 34/2)

ඉන්දීය කාන්තා පිල - ඕවර 19.1 කදී කඩුලු 5 කට 127
(ස්මි්‍රති මන්දනා 39, ශෆාලි වෙර්මා 17, සභිනේනි මේඝනා 17, හර්මන්පීත් කෝර් නොදැවී 31, ඉනෝකා රණවීර 18/2, ඕෂධී රණසිංහ 32/2)


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.