Last Update  :  2024-05-06 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට කඩුලු 9 ක පහසු ජයක්

ඉන්දියාවට කඩුලු 9 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හිදී ඊයේ (4 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමගින් තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීයාව සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 119 ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 20.3 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 100 කදී ලකුණු 93 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ශිකර් ධවාන් (නොදැවී 51) සහ නායක විරාට් කෝලි (නොදැවී 46) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

පන්දු 51 කට මුහුණදුන් ධවාන් සිය 24 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 9 කින් අලංකාර කළ අතර පන්දු 50 කදී වාර්තා වූ කෝලිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 15 ක් ලබා සිටියදී කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ මෝනි මෝකල් අතට උඩ පන්දුවක් දෙමින් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ශර්මා දැවී ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 32.2 ක් අවසානයේ ලකුණු 118 කට සීමා කිරීමට යුස්වින්දර් චාහල් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ චාහල් ලකුණු 22 කට කඩුලු 5 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් කුල්දීප් යාදව් ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගත්තේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ජේ.පී. ඩුමිනි හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද, ඛායා සෙන්ඩෝ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද රැස්කළ අතර හෂීම් අම්ලා ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.


දකුණු අප්‍රිකානු පිල - ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 118
(හෂීම් අම්ලා 23, ක්වින්ටින් ඩි’කොක් 20, ජේ.පී. ඩුමිනි 25, ඛායා සෙන්ඩෝ 25, යුස්වින්දර් චාහල් 22/5, කුල්දීප් යාදව් 20/3)

ඉන්දීය පිල - ඕවර 20.3 කදී කඩුල්ලක් දැවී 119
(රෝහිත් ශර්මා 15, ශිකර් ධාවාන් නොදැවී 51, විරාට් කෝලි නොදැවී 46)


- 036

 


අදහස් (0)

ඉන්දියාවට කඩුලු 9 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.