Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඈෂ්ලි බාර්ටි විම්බල්ඩන් ශූරතාව දිනාගනී

ඈෂ්ලි බාර්ටි විම්බල්ඩන් ශූරතාව දිනාගනී

editorial - 2021 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය ක්‍රීඩා දිවිය තුළ පළමු වරට විම්බල්ඩන් ශූරතාවක් දිනාගැනීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාර්ටි සමත් වූවාය. සෙනසුරාදා (10 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී චෙක් ජනරජයේ කැරොලිනා පලිස්කෝවාට එරෙහිව තරග වට 2-1 ක (6/3, 6/7, 6/3) ජයක් වාර්තා කරමින් ඈෂ්ලි මෙවර විම්බල්ඩන් ශූරතාව දිනාගත්තාය.

අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 6/3 ක් ලෙස ජයගැනීමට බාර්ටි සමත් වුවද, දෙවැනි වටයේදී බාර්ටිට තියුණු සටනක් දුන් ‍කැරොලිනා ඇයව සම ලකුණු බිඳීමේ වටයක් කරා ගෙන ගියාය. සම ලකුණු බෙඳීමේ වටයෙන් ජය ලැබූ කැරොලිනා, ලකුණු 7/6 ක් ලෙස දෙවැනි වටය ජයගනිමින් තරගය වට 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කළාය.

කෙසේ වුවත් දෙදෙනාටම තීරණාත්මක වූ තෙවැනි වටයේදී කැරොලිනාට එරෙහිව ලකුණු 6/3 ක ජයක් ලැබූ බාර්ටි වට 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තාය. මේ වන විට 25 වැනි වියේ පසුවන බාර්ටි දිනාගත් දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙයයි. මින් පෙර 2019 වසරේදී පැවැති ප්‍රංශ විවෘත ශූරතාව දිනාගැනීමටද ඇය සමත්ව සිටියාය.

අර්ධ අවසන් පූර්ව වටයේදී සිය රටේම ක්‍රීඩිකාවක වන අජ්ලා ටොම්ල්ජොනොවික්ට එරෙහිව වට 2-0 ක (6/1, 6/3) ජයක් වාර්තා කරමින් බාර්ටි අවසන් පූර්ව වටයට පිවිසියාය. ඇය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ අවසන් පූර්ව වටයේදී ජර්මනියේ ඇන්ජලික් කේබර්ට එරෙහිව වට 2-0 ක (6/3, 7/6) ජයක් වාර්තා කරමිනි.

පළමු වටයේදී බෙල්ජියමේ ග්‍රීට් මිනන්ට ‍‍එරෙහිවද, දෙවැනි වටයේදී ප්‍රංශයේ ඇලිස් කෝනට්ට එරෙහිවද, තෙවැනි වටයේදී ලැට්වියාවේ ජෙසෙනා ඔස්ටපෙන්කෝට එරෙහිවද ජය වාර්තා කළ බාර්ටි, අවසන් 16 දෙනාගේ වටයේදී බ්‍රිතාන්‍යයේ එමා රඩුකානුට එරෙහිව තරග වට 2-0 ක ජයක් ලබමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය.

"මෙය විශ්මයජනකයි. මට විම්බල්ඩන් ශූරතාවක් දිනාගැනීමට ලොකු කාලයක් ගත වුණා. ඒ වෙනුවෙන් මම සෑහෙන කාලයක් සිහින දැක්කා. ඒ සිහිනය සැබෑ කරගන්න මම ‍කොපමණ නොයිවසිල්ලෙන් හිටියද කියනවා නම් ඊයේ රෑ මට නින්ද ගියෙත් නෑ. මගේ සිහිනය වර්ණවත් කළාට ක්‍රීඩාංගණයේ හිටපු හැම කෙනෙකුටම මම හුඟක් ස්තූතිවන්ත වෙනවා." යැයි ජයග්‍රහණයෙන් පසුව බාර්ටි පැවසුවාය.   

 

-036


අදහස් (0)

ඈෂ්ලි බාර්ටි විම්බල්ඩන් ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.