
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු යැවීමෙන් නිසි ප්‍රයෝජන ගත් ඇෆ්ඝනිස්ථානුවෝ නැඟෙන තරු අතර පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයේදීම කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කළහ. ලකුණු 170 ක ඉලක්කයක් කරා ගිය ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම පන්දුවක් ඉතිරිව තිබියදී ජයටැඹ පසුකර ගියේය.
පළමු ඕවර 10 දී ශ්‍රී ලාංකිකයන් පන්දු යැවූයේ කනිෂ්ඨ ක්‍රීඩකයන් මෙනි. පන්දු වැඩි ප්‍රමාණයක් පිටියේ මැද පතිත වූ අතර ඒවා හතරේ සීමාවට ඉහළින් යවන මෙන් ඇෆ්ඝනිස්ථානු පිතිකරුවන්ට කළ ආරාධනා විය. පළමු ඕවර 10 ඇතුළත හතරේ පහර 7 ක් සහ හයේ පහර 8 ක් වාර්තා වූ අතර දුනිත් වෙල්ලාලගේගේ මුල්ම ඕවරයෙන් ලකුණු 21 ක් ද, විජයකාන්ත් වියස්කාන්ත්ගේ පළමු පන්දු 2 න් ලකුණු 12 ක් ද ඇෆ්ඝනිස්ථානුවෝ උදුරා ගත්හ.
ආරම්භක පිතිකරු සුබෙයිඩ් අක්බාරි පළමු ඕවරයේදීම දැවී ගිය නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් තමන් වෙත ලැබුණු පන්දු රිසි රිසි සේ හතරේ සීමාවට ඉහළින් යැවූ ඉම්රාන් සහ සදිකුල්ලා අතල් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 40 කින් ලකුණු 84 ක් එකතු කළහ. 10 වැනි ඕවරය නිමාවන විටත් ලකුණු 105 ක් පුවරුවට දමාගත් ඇෆ්ඝනිස්ථානුවන්ට අවසන් ඕවර 10 න් අවශ්‍ය වූයේ ලකුණු 66 කි.
විජයකාන්ත් වියස්කාන්ත්ගේ ආරම්භය අසාර්ථක වූවත් ඔහු ඕවර 3 කින් කඩුලු 3 ක් දවාගැනීම හේතුවෙන් 15 වැනි ඕවරය නිමාවන විට ඇෆ්ඝනිස්ථානුවෝ තරගයේ පීඩනයට නතුවී සිටියහ. එහෙත් ධර්විෂ් රසූලි, 16 වැනි ඕවරය යැවූ ඉසිත විජේසුන්දරගේ පන්දු 3 කින් ලකුණු 16 ක් උදුරාගැනීම නිසා තරගයේ වාසිය නැවතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ඈත් විය.
විශේන් හැලඹගේ (28), නුවනිඳු ප්‍රනාන්දු (39), දුනිත් වෙල්ලාලගේ (33) සහ මිලාන් රත්නායක (41) එක්ව කඩුලු 9 ට 170 ක් දක්වා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කැඳවාගෙන ගියහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වේගවත් ආරම්භයක් ලබාගත් නමුත් ඉක්මනින් කඩුලු දැවී ගියේය. සිව්වැනි ඕවරය නිමා වන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ කඩුලු 4 කට 39 ක් ලෙසිනි. වේග පන්දු යවන බිලාල් සමී යැවූ සිව්වැනි ඕවරය සටහන් වූයේ X, 4, 1, X, X සහ 0 ක් ලෙසිනි.
නායක දුනිත් වෙල්ලාලගේ සහ නුවනිඳු ප්‍රනාන්දු එක්ව පන්දු 56 කින් ලකුණු 66 ක් එකතු කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම ගොඩගත්හ. වෙල්ලාලගේට පසුව පැමිණි මිලාන් රත්නායක කළ ප්‍රචණ්ඩ පිතිහරඹය හේතුවෙන් බිලාල් සාමිගේ තුන්වැනි ඕවරයේදී ලකුණු 23 ක් එක්විය. මිලාන් රත්නායක එම ඕවරයේදී ලකුණු ලබාගත් ආකාරය සටහන් වූයේ 4,4,6,4,4 සහ 1 ක් ලෙසිනි.
නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන අතර බංග්ලාදේශ ‘ඒ’, හොං කොං, සහ ඇෆ්ඝනිස්තානු ‘ඒ’ කණ්ඩායම් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඇතුළත් කාණ්ඩයේ සිටින්නෝ වෙති.
ශ්‍රී ලංකා ‘ඒ’ - ඕවර 20 කදී කඩුලු 9 ට 170 යි
(විශේන් හැළඹගේ 28, නුවනිඳු ප්‍රනාන්දු 39, දුනිත් වෙල්ලාලගේ 33, මිලාන් රත්නායක 41, ඒ.එම්.ගසන්ෆාර් 32/3, බිලාල් සමී 45/4)
ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ - ඕවර 19.5 කදී කඩුලු 7 ක් දැවී 171 යි
(ඉම්රාන් 34, සදිකුල්ලා අතල් 54, ධර්විශ් රසූල් 32, නන්ගෙලියා කරෝටේ 15, ක්වායිස් අහමඩ් නොදැවී 16, විජයකාන්ත් වියස්කාන්ත් 28/3)
- 213
ඡායාරූප - ආසියානු ක්‍රිකට් සභාව අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.