Last Update  :  2025-11-10 07:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආචර්ට නවසීලන්ත තරගාවලිය අහිමි වෙයි

ආචර්ට නවසීලන්ත තරගාවලිය අහිමි වෙයි

editorial - 2021 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැලමිටේ ආබාධය නැවත මතුවීම හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ට ලබන මාසයේදී නවසීලන්තයට‍ එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇත.

එම ආබාධය හේතුවෙන් ආචර්ට කෙන්ට් ප්‍රාන්තය සහ සසෙක්ස් ප්‍රාන්තය අතර ඉකුත් සතියේදී පැවැති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයේ අවසන් දින දෙකේදීද පන්දු යැවීමට නොහැකි විය. එම තරග‍යේ පළමු ඉනිමේදී කඩුලු 2 ක් දවාගත් ඔහුට දෙවැනි ඉනිමේදී යැවිය හැකි වූයේ ඕවර 5 ක් පමණි.

නවසීලන්තය සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ජූනි මස 2 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ‍එහෙත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියේ දකුණු වැලමිටේ ආබාධයකින් පෙළීම නිසා 26 හැවිරිදි ආචර්ට එම තරගය මඟහැරෙනු ඇති බවය.

වැලමිටේ ආබාධය සුවකරගැනීම සඳහා ආචර්, මෙම සතිය අවසානයේදී වෛද්‍ය උපදේශකයකු හමුවනු ඇතැයිද එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන ආචර් ඉකුත් වසරේ (2020) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී කඩුලු 20 ක් බිඳහෙළමින් වැඩිම කඩුලු ලාභීන් අතර 7 වැනි ස්ථානයට පත් විය. කෙසේ වුවත් සිය ආබාධයෙන් පූර්ණ සුවය ලැබී‍ම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ඔහු මෙවර (2021) අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත් විය.

“ආචර්ගේ වැලමිටේ ආබාධය පිළිබඳව යම් ව්‍යාකූලතාවක් තිබුණා. කණ්ඩායමේ නායක බෙන් බ්‍රවුන් සිතුවේ ආචර් පන්දු යැවීමට සූදානම් කියලයි. නමුත් පන්දු යැවීමට නොහැකි තරමටම ඔහුගේ ආබාධය උත්සන්න වෙලා තිබුණේ.” යැයි සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරැ ඉයන් සෝල්ස්බරි මහතා පැවසීය.

දිගු කලක් පුරා ආචර් මෙම වැලමිටේ ආබාධයෙන් පීඩා විඳි අතර ඒ සඳහා ඔහු මෙම වසරේ මාර්තු මාසයේදී සැත්කමටද මුහුණ දුන්නේය. ඉන් අනතුරැව වැලමිටේ ආබාධය සඳහා ඔහු වරින් වර එන්නත්ද ලබාගත්තේය. එහෙත් එය නැවත වරක් ඉස්මතු වී තිබේ.

 

-036

 
 
 
 

අදහස් (0)

ආචර්ට නවසීලන්ත තරගාවලිය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.