Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආකින්ෆීව්ගේ වික්‍රමයෙන් රුසියාව පෙරටම

ආකින්ෆීව්ගේ වික්‍රමයෙන් රුසියාව පෙරටම

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ වටයේ සත්කාරක රුසියාව සහ ස්පාඤ්ඤය අතර පැවැති තරගය ගෝල 1-1 කින් සමවුවද, දෙපිලටම ලබාදුන් දඬුවම් පහර 5න් 4-3 ක් ලෙස සාර්ථක කරගත් රුසියාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද (1) සමත් විය.

තරගයේ 12 වැනි මිනිත්තුවේදී රුසියාවේ සර්ජි ඉග්නැෂිවිච් විසින් පන්දුව තමන්ගේම දැලවෙතට දමා ගැනීම හේතුවෙන් ගෝල 1-0 කින් පෙරමුණ ගැනීමට ස්පාඤ්ඤයට හැකියාව ලැබිණ. එහෙත් පළමු භාගය නිමාවීමට මිනිත්තු 4 ක් තිබියදී, රුසියාවට ලබාදුන් දඬුවම් පහර හේතුවෙන් ගෝල 1-1 ක් ලෙස තරගයේ පළමු භාගය සමකර ගැනීමට ආර්ටම් සියුබාගේ ගෝලයත් සමගින් රුසියාවට හැකියාව ලැබිණ. එම ගෝලයත් සමග ලෝක කුසලාන තරගාවලියකදී පිළිමළුන් පිටු දැකීමේ වටයට රුසියාව ලබාගත් පළමු ගෝලය බවටද ඉතිහාසයට එක්විය.

තරගයේ නියමිත කාලයට වඩා තවත් මිනිත්තු 30 ක් දෙපිලටම පිරිනැමුවත් එයින්ද ජයග්‍රාහකයා තෝරා ගැනීමට හැකියාවක් නොලැබුණි. නමුත් මෙවන් තරගාවලියක වේදනාවෙන් හෝ කණ්ඩායමක් ඉවත්ව යද්දී කණ්ඩායමකට ඉදිරියටම යාමට අවස්ථාව ලැබේ.

තරගයේ කණ්ඩායම් දෙකටම ලබාදුන් අමතර කාලයෙන් වැඩි ප්‍රමාණයක් පන්දුව ස්පාඤ්ඤයේ පා අතර දෝලනය වුවත් රුසියානු දැල රකින්නාගේ ප්‍රවේසම්කාරී දැලරැකීම නිසා රුසියාව අවස්ථා කිහිපයකදීම ස්පාඤ්ඤයේ ප්‍රහාරකයන්ගෙන් බේරා ගැනීමට හැකියාව ලැබිණ. තරගයේ 99 වැනි මිනිත්තුවේ ස්පාඤ්ඤ ක්‍රීඩක මාර්කෝ ඇසෙන්සියෝ දියත් කළ පා පහර රුසියානු දැල රකින්නා වන ඉගෝර් ආකින්ෆීව් විසින් නවතා ගැනීම නිසා තව දුරටත් ජයග්‍රාහකයා සොයා ගැනීමට තවත් වේලාවක් ක්‍රීඩා කිරීමට කණ්ඩායම් දෙකටම සිදුවිය.

නැවතත් ස්පාඤ්ඤ ක්‍රීඩක රොඩි්‍රගෝ 108 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කළත් රුසියානු දැල රකින්නාගෙන් එවරද අවස්ථාවක් ස්පාඤ්ඤයට හිමි නොවීය. තරගයේ 115 වැනි මිනිත්තුවේදී ලුෂ්නිකි ක්‍රිඩාංගණයට මඳ වැස්සක්ද පතිත වුවද සියලු බාධක මැද අමතර කාලයද සමව විසඳාගත් දෙපිලටම දැල රකින්නාගේ වික්‍රමය දෙස බලා සිටීමට සිදුවිය.

මේ හේතුවෙන් කණ්ඩායම් 2ටම දඬුවම් පහර 5 බැගින් ප්‍රදානය කිරිමට තරග විනිසුරුවරුන්ට සිදුවිය. දෙපිලම මුල් අවස්ථා 2ක සාර්ථකව ලබා ගත්තත්, රුසියානු දැල රකින්නා වන ඉගෝර් ආකින්ෆීව් විසින් ස්පාඤ්ඤ ක්‍රීඩක කොකේ දියත් කළ නිදහස් පා පහර නවතා ගැනීම නිසා රුසියාවට තරගාවලියේ රැදී සිටීමට වාසනාව පෑදුණි.

නැවතත් ස්පාඤ්ඤයේ ඉයාගෝ ඇස්පස්ට ලැබුණු දඬුවම් පහර රුසියානු දැල රකින්නාගේ පාදයේ වැදී දැලෙන් එපිටට විසිවීම නිසා ලබාදුන් අවස්ථා 5න් 3ක් පමණක් සාර්ථක විය. නමුත් රුසියාවට ලබාදුන් දඬුවම් පහර 4ම සාර්ථකව දැලවෙත යොමු කිරීමට පිළිවෙළින් ෆෙඩර් ස්මොලොව්, සර්ජි ඉග්නැෂිවිච්, ඇලෙක්සැන්ඩර් ගොලෝවින් සහ ඩෙනිස් චෙරිශේව්ට හැකියාව ලැබිණ. ඒ අනුව තවත් අවස්ථාවක් ඉතුරුව තිබියදී ජයගත් රුසියාව, ලෝක කුසලාන අවසන් 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවද මෙය බවට පත්විය.

ප්‍රේක්ෂකයන් 78,000 කට ආසන්න සංඛ්‍යාවක් ලුෂ්නිකි ක්‍රීඩාංගණය වෙත එක්රැස් වී සිටි අතර රුසියාව මෙවර තරගාවලියේ පෙරළියක් කරමින් ඉදිරියටම යන බව ඔප්පු කරමින් සිටියි. ස්පාඤ්ඤයේ  සෑම ප්‍රහාරයකින්ම රුසියාවේ බලාපොරොත්තු රැකි ඉගෝර් ආකීන්ෆීව් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

අද මධ්‍යම රාත්‍රියේ (1 වැනිදා) ක්‍රෝඒෂියාව සහ ඩෙන්මාර්කය අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම ජූලි 7 වැනිදා සත්කාරක රුසියාව සමගින් අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.

 

 

- 024


අදහස් (0)

ආකින්ෆීව්ගේ වික්‍රමයෙන් රුසියාව පෙරටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.