Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අළු බඳුන පෙනි පෙනී පේන් ඉල්ලා අස්වෙයි

අළු බඳුන පෙනි පෙනී පේන් ඉල්ලා අස්වෙයි

editorial - 2021 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අළු බඳුන තරගාවලිය අත පොවන මානයේ තිබියදී ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක ටිම් පේන් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. වසර කිහිපයකට ඉහතදී, සිය මිතුරියක සමගින් හුවමාරු කරගත් කෙටි පණිවිඩයක ලිංගිකත්වය දැක්වෙන සටහන් තිබීම ඔහුගේ ඉල්ලා අස්වීමට පසුබිම වී තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් මා ඉල්ලා අස්වන බව මම අද නිවේදනය කරනවා” යයි කඳුලු පිරි දෙනෙතින් කියූ ටිම් පේන් නායකත්වයෙන් ඉල්ලා අස්වූයේය.

වසර කිහිපයකට ඉහතදී සිය මිතුරියක සමගින් හුවමාරු කරගත් කෙටි පණිවිඩ කිහිපයක තිබූ අසභ්‍ය තොරතුරු හෙළිදරව් වීමත් සමගම ටිම් පේන් මෙම තීරණය ගෙන තිබේ. මෙම කෙටි පණිවිඩවලින් කොටසක් ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් හෙළිදරව් කරනු ලැබ ඇත.

“අවුරුදු හතරකට විතර ඉස්සර, ඒ කාලේ මගේ මිතුරියක සමගින් මා කෙටි පණිවිඩ හුවමාරු කරගත්තා. ඇයත් මාත් අතර පුද්ගලිකව හුවමාරු වූ ඒ පණිවිඩ දැන් හෙළිදරව් වී තිබෙනවා. ඒ පණිවිඩ 2017 තරම් ඇතකදී හුවමාරු වූවත්, ඒවා ඕස්ට්‍රේලියානු පිලේ නායකයකු විසින් මෙන්ම සමාජයේ වගකීමක් ඇති අයකු විසින් නොකළ යුතු දේවල් යයි මා හිතනවා”

“ඒ නිසා, මගේ බිරිඳටත්, පවුලේ අයට මෙන්ම අනෙක් පාර්ශ්වයන්ටත් ඇතිවූ සිත්තැවුල් සම්බන්ධයෙන් මා හෘදයංගමව සමාව ඉල්ලා සිටිනවා... ඒ වගේම අපේ (ක්‍රිකට්) ක්‍රීඩාවටත් එයින් ඇතිවූ කැළල සම්බන්ධයෙන් මා සමාව ඉල්ලා සිටිනවා” යයි ටිම් පේන් පැවසීය.

තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වූවත්, ඉදිරියේ එන අළු බඳුන තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත්, ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ නායකත්වය දැරීම සිය ජීවිතයේ “විශාලතම වරප්‍රසාදය” බවත් ටිම් පේන් වැඩිදුරටත් කියයි.

“ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කැපවුණ ක්‍රීඩකයකු වශයෙන් මා ඉදිරියටත් කටයුතු කරනවා. ඒ වගේම ඉදිරියේ එන අළු බඳුන තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා” යයිද හිටපු නායකයා පැවසීය.

තස්මේනියානු ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන කඩුලු රකින්නකු වන ටිම් පේන් ඕස්ටේ්‍රලියානු නායකත්වයට පත්වූයේ 2018 දකුණු අප්‍රිකානු සංචාරයේදී වැලි කඩදාසියකින් පන්දුව සීරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ස්ටීවන් ස්මිත් සහ ඔහුගේ උපනායකයා වූ ඬේවිඞ් වෝනර් දෙදෙනාට ක්‍රිකට් තහනමක් පැනවීමෙන් පසුවය. වැලි කඩදාසි අර්බුදය හේතුවෙන් ස්මිත් සහ වෝනර් දෙදෙනාටම වසරක ක්‍රිකට් තහනමක් පනවන ලද අතර තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙසට ඔවුන් දෙදෙනාටම බල කෙරිණ.

මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ටිම් පේන්ගේ ඉල්ලා අස්වීම බාරගන්නා බවත්, නියමිත ක්‍රමවේද අනුව ඊළඟ පියවර ගන්නා බවත්ය. කෙසේ වෙතත් පේන් සහ ඔහුගේ මිතුරිය අතර හුවමාරුවූ කෙටි පණිවිඩ, “වැඩිහිටියන් අතර දෙයක්” බවත් එම නිවේදනයෙන් කියැවිණ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී රිචඞ් ෆෲඩෙන්ස්ටේන් මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කළ බවත් ඒවා පුද්ගලික මට්ටමේ දේවල් වන බැවින් එහි බරපතළ වරදක් නොදකින බවත්ය.

 

- 213


අදහස් (0)

අළු බඳුන පෙනි පෙනී පේන් ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.