Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අසංලකගේ ශතකය වැහි වතුරේ සේදෙයි
පළමු එක්දින තරගය

අසංලකගේ ශතකය වැහි වතුරේ සේදෙයි

editorial - 2024 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

චරිත් අසලංකගේ වික්‍රමාන්විත ශතකය (101) නිසා හිස් ඔසවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්ාව් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේ නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තේය. එහෙත් අසලංකගේ ශතකයේ වටිනාකම එහෙම පිටින්ම සෝදා හළ වර්ෂාව නිසා තරගය විසඳුමකින් තොරව අතහැර දැමීමට සිදුවිය. 

සිම්බාබ්වේ ඉනිම ආරම්භ වී ඕවර 4 කින් පසුව, රාත්‍රී 7.10 ට පමණ වර්ෂාව ඇද හැළීම ආරම්භ විය. ඒ වනවිට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකණු 12 ක් ලබා සිටියේය. පැය දෙකකට වැඩි කාලයක් නොනවත්වා පැවැති වර්ෂාව හේතුවෙන් තරගයේ අතහැර දමන බව රාත්‍රී 9.15 ට පමණ විනිසුරුවරු නිවේදනය කළහ. 

ආරම්භය තරමක් අසාර්ථක වූ නමුත් අසලංකගේ ඉනිම වටා එක්කාසු වූ මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවෝ ලකුණු 250 කඩයිමෙන් ඔබ්බට ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන්ම පන්දුවට පහරදීම තෝරාගත්තේ තමන්වම පිතිකරු ලයිස්තුවේ මුලට දමමිනි. පැතුම් නිස්සංක හදිසියේම අසනීප වූ බැවින්, ආරම්භක පිතිකරුවාගේ වගකීම කුසල් බාරගත්තේය. එහෙත් පළමු ඕවරයේදීම අවිශ්ක ප්‍රනාන්දු දැවී ගිය බැවින් කුසල්ට අපේක්‍ෂිත ප්‍රහාරය දියත් කළ නොහැකිවිය. සධීර සමරවික්‍රම තරමක් එඩිතරව පන්දුවට මුහුණ දුන් හෙයින්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 63 ක් එක්විය. හතරේ පහර 8 කින් සමන්විත වූ සධීරගේ ඉනිම අවසන් වූයේ ස්ලිප් හි සිටි ක්‍රෙග් අර්වින් රැකගත් උඩපන්දුවකිනි. 

කෝඩුකාර ජනිත් ලියනගේ අපරික්‍ෂාකාරී පහරකින් දැවී ගියේය. ෆරාස් අක්රම්ගේ පන්දුවක් හමුවේ තරමක් විඩාබර පහරක් ගැසූ ජනිත් එයින් ලකුණු 2 ක් ලබාගත් නමුත් ඊළඟ පන්දුවටත් ඒ පහරම ගැසීම නිසා මිඩ් ඕෆ් හි සිටි සිකන්දර් රාසාට පහසු උඩපන්දුවක් ලැබිණ. ජනිත් ලියනගේ ශ්‍රී ලංකා එක්දින හිස්වැස්ම හිමිකරගත් 211 වැනි ක්‍රීඩකයාය. 

ලියනගේ පිටියේ සිටියදී ලකුණු රැස්කිරීමේ වගකීම කරට ගත් කුසල් මෙන්ඩිස් එතරම් විශ්වාසයකින් ලකුණු ලබාගන්නා බවක් දිස් නොවීය. වෙනදා තරමක් ආක්‍රමණශීලීව පන්දුවට පහර දෙන මෙන්ඩිස්ගේ ආත්ම විශ්වාසය දැකගත නොහැකි විය. 

නියමිත ඉලක්කයක් ඇතිව පන්දු යැවූ බ්ලෙසිං මුසරබානි සහ ෆරාඩ් අක්රම් දෙදෙනාම ඉනිමේ මැද කොටසේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු ලබාගැනීම අසීරු කළහ. එහෙත් තම කඩුල්ල ආරක්‍ෂා කරගැනීමට ඉටාගත් චරිත් අසලංක, ඉනිමේ අවසන් ඕවරය දක්වාම පිටියේ රැඳුණු බැවින් ශ්‍රී ලංකා කණ්ඩාමට ලකුණු 273 ක් කරා යා හැකිවිය. පන්දු 95 කට මුහුණ දුන් ශ්‍රී ලංකා උප නායකයා, හතරේ පහර 5 කින් සහ හයේ පහර 4 කින් තම ඉනිම අලංකාර කළේය. 

31 වැනි ඕවරයේදී 5 වැනි කඩුල්ලත් ඇද වැටෙන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 162 ක් පමණි. මෙම අවස්ථාවේදී පිටියට පැමිණි හිටපු නායක දසුන් ශානක සහ අසලංක අතර පැවැති ලකුණු 23 ක සම්බන්ධතාවට පන්දු 39 ක් වැයවිය. පන්දු 19 කට පසුව දසුන් ලකුණු 08 කට දැවී ගියේ ප්‍රශ්න කිහිපයක්ම ඉතිරි කරමිනි. 

සෙනසුරාදා දිනයක් වූවද, දෙපිලේ ජාතික ගීත ගායනා කරන විට ක්‍රීඩා පිටියේ සිටියේ නරඹන්නන් 500 කටත් අඩු සංඛ්‍යාවකි. සවස් වන විට වුවත් එහි කැපී පෙනෙන වැඩිවිමක් නොතිබීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලාංකිකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව එපා වී ඇති බවද ? 


අදහස් (1)

අසංලකගේ ශතකය වැහි වතුරේ සේදෙයි
  • Aruna Sunday, 07 January 2024 09:27 AM

    කුජීත පරිපාලකයෝයි, ඒකටම ගැලපෙන ක්‍රීඩකයොයි, ඉන්නකොට ලංකාවේ ක්‍රිකට් මිනිස්සුන්ට ඇලජික් වෙලා තියෙන්නේ. ඒ තරම් දැන් ක්‍රිකට් අප්පිරිය වෙලා තියෙන්නේ.!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.