Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අශ්වින් වෙනසකට මුල පුරයි

අශ්වින් වෙනසකට මුල පුරයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රවිචන්ද්‍රන් අශ්වින් දවාගත් කඩුලු තුනත් දුවද්දී දවාගැනීම් දෙකත් නිසා සෙන්චූරින්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු පිතිකරුවන් යම්තරමක් දුරට මෙල්ල කරගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. තරගයේ පළමු දිනය නිමා වන විට දකුණු අප්‍රිකානු පිලට කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 269 ක් පමණි. දකුණු අප්‍රිකානු පිල වරෙක කඩුල්ලක් දැවී ලකුණු 148 ක් ලබා සිටි නමුත් අශ්වින් විසින් ඒඞ්න් මාක්රාම් දවාගැනීමෙන් පසුව ලකුණු ගලා ඒම තරමක් පාලනය විය.

වසර හතරකට පමණ ඉහත දකුණු අප්‍රිකාවේ පැවැති තරගාවලියකදී මහත් කටුක අත්දැකීමකට මුහුණ දුන් අශ්වින්ට එක තරගයකදී කඩුල්ලක්වත් දවාගත නොහැකි විය. ජොහැන්නස්බර්ග්හිදී පැවැති එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවත් ලකුණු 458 ක ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකානුවෝ ලකුණු 450 ක්ම ලබාගත්හ. ප්‍රතිඵලය වූයේ ඊළඟ තරගයේදී අශ්වින්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමයි.

“එදා ඒ සිද්ධිය (ඕවර 36 කදී කඩුල්ලක් දවාගත නොහැකිවීම) මගේ වෘත්තීය අභිමානයට කැළලක් වුණා. එදා ඉඳන් මා හිතාගත්තා දකුණු අප්‍රිකාවේදී කඩුලු දවාගන්න නම් මොනවා හෝ දෙයක් කරන්න ඕන කියා” යයි පැරණි සිදුවීම සිහිපත් කරමින් අශ්වින් කියා සිටියේය.

අශ්වින් ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ පිට දඟ පන්දු යවන්නකු ලෙසින් වූවත් දකුණු අප්‍රිකාවේ තණතීරුවලින් තමන්ට කිසිම සහයෝගයක් නොලැබෙන බැවින් පන්දුවේ මැස්ම උපයෝගී කරගනිමින් මඳ වේග පන්දු යැවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිටියේය. එහෙත් දඟ පන්දු යැවීම සම්බන්ධයෙන්ද ඔහුට ඕනෑ තරම් විකල්ප තිබේ.

එදා ජොහැන්නස්බර්ග්හි පැවැති ටෙස්ට් තරගයේ සිට මේ දක්වා සහභාගි වූ ටෙස්ට් තරග 38 කදී කඩුලු 205 ක් දවාගැනීමට අශ්වින් සමත් වූයේ පන්දු යැවීමේදී සිය අත්ල සහ මැණික් කටුව කරකැවීමේ සියුම් වෙනස්කම් කළ බැවිනි. කෙසේ වෙතත් සෙන්චූරියන් තණතීරුවේදී වේග පන්දු යවන්නන් බලාපොරොතතු වූ සහයෝගයද එතරම් දක්නට නොලැබිණ.

හසිම් අම්ලා සහ ෆෆ් ඩු ප්ලෙසි පන්දුවට පහර දෙමින් සිටි එක් අවස්ථාවක දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 ට 246 ක් ලෙසිනි. හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවක් පා ඉන්න දෙසට තල්ලු කළ අම්ලා ලකුණක් කරා දිවයාම ඇරඹීය. පන්දු යවන්නාගේ අන්තයේ සිටි ෆෆ් ඩු ප්ලෙසි ඉක්මන් ආරම්භයක් ලබාගත් නමුත් ඇසිපිය හෙළන සැණින් පන්දුව වෙත දිවගිය පාණ්ඩ්‍යා එය අහුලාගෙන පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ලට දමා ගැසූ හෙයින් අම්ලාගේ ඉනිම ලකුණු 82 දී අවසන් විය.

සිය පස්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ඒඞ්න් මාක්රාම් ඔහුගේ තුන්වැනි ශතකය කරා යමින් සිටියේය. ඔහුගේ පළමු සහ දෙවැනි ටෙස්ට් ශතක වාර්තා වූයේ ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ පහළින් සිටින බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් වලට එරෙහිවය. තරග 5 කදී ලබාගත් ශතක දෙකට අමතරව ඔහු මේ වන විට ලකුණු 90 - 100 සීමාවේදී දෙවරක් දැවී ගොස් තිබේ.

ශතකය පෙනි පෙනී දැවී ගිය මාක්රාම් පිටියෙන් ඉවත්ව යද්දී සැණෙන් පිටිය හරහා දිවගිය ඉන්දීය නායක විරාට් කෝලි “හොඳට සෙල්ලම් කළා” යයි කියමින් ඔහුට සුබ පැතුවේය.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම කඩුලු 6 ට 269 යි
(ඩීන් එල්ගා 31, ඒඞ්න් මාක්රම් 94, හසිම් අම්ලා 82, ඒ.බී. ඩිවිලියර්ස් 20, ෆෆ් ඩු’ප්ලෙසි 24, ඉෂාන්ත් ෂර්මා 32/1, රවිචන්ද්‍රන් අශ්වින් 90/3)

 

 


අදහස් (0)

අශ්වින් වෙනසකට මුල පුරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.