Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසාන තීන්දුව ගන්න තුන්වැනි විනිසුරුවරයාට දෙන්න - වනිඳු

අවසාන තීන්දුව ගන්න තුන්වැනි විනිසුරුවරයාට දෙන්න - වනිඳු

editorial - 2024 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඇෆ්ගනිස්තානයට එරෙහිව දඹුල්ලේදී පැවැති තුන්වැනි විස්සයි-20 තරගය අවසානයේදී විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා සමග උණුසුම් වචන හුවමාරුවක පැටළුණු ශ්‍රී ලංකා විස්සයි-20 නායක වනිඳු හසරංග, පිතිකරුවගේ ඉණට ඉහළින් යන පන්දුවක් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමේ බලය තුන්වැනි විනිසුරුවරයාට පැවරිය යුතු බව කියයි. බදාදා (21 වනිදා) තුන්වැනි විස්සයි-20 තරගය නිමාවීමෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී වනිඳු හසරංග එසේ කියා සිටියේය. 

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවරයේ සිව්වැනි පන්දුව පිතිකරුවාගේ ඉණට ඉහළින් ගියද පා ඉන්න පැත්තේ විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා එය නිපන්දුවක් යයි සංඥා නොකළේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩිපුර ලැබිය යුතුව තිබූ පන්දුවක් මෙන්ම ලකුණක් ද අහිමි විය. 

තරගය නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 3 ක පරාජයක් ඉතිරි කරමිනි. එහෙත් අවසන් ඕවරයේ සිව්වැනි පන්දුව නිපන්දුවක් වූයේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 206 ක් වන අතර නිපන්දුව වෙනුවෙන් හිමිවන අතිරේක පන්දුවෙන් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු දෙක ලබාගත හැකිව තිබූ බව ශ්‍රී ලංකා නායකයාගේ තර්කයයි. 

කෙසේ වෙතත් වර්තමානයේ පවතින නීති රීති අනුව එවන් අවස්ථාවකදී තුන්වැනි විනිසුරුවරයාගේ මතය විමසීමේ අවස්ථාවක් ක්‍රීඩකයන්ට නැත.

“අපිට ඒක තිබුණා. මට මතකයි පසුගිය කාලයේදී ඒ වගේ එකක් තිබුණා. ඒ කියන්නේ ඒ වගේ තීන්දුවක් නැවත විනිසුරු තීරණ විමසීමට යවන්න පුළුවන් කම තිබුණා. ඒත් දැන් ඒක අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් අයින් කරලා දාලා තියෙනවා” යයි විනිසුරු තීරණ විමසීම සම්බන්ධයෙන් වනිඳු හසරංග පැවසීය. 

“හැබැයි ඉතින් කකුල ඉරෙන් ඉස්සරහට තියලා යවන නිපන්දුව තීරණය කරන්න තුන්වැනි විනිසුරුවරයාට පුළුවන් නම්, මේ වගේ (පන්දුව පිතිකරුවාගේ ඉණට ඉහළින් යාම) එකක් බලන්නත් තුන්වැනි විනිසුරුවරයාට පුළුවන් වෙන්න ඕන”

“අනෙක ඒ වගේ එකක් පිටියේ ඉන්න විනිසුරුවරයාට එකහෙළාම කියන්න බැරිනම්, එයාට වුණත් තුන්වැනි විනිසුරුවරයාගෙන් ඒක අහන්න පුළුවන් කම තිබුණා. (විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා) එහෙම කළෙත් නෑ... ඉතින් මම දන්නෑ මොකක්ද ඒ වෙලාවෙ එයාගේ ඔලුවේ වැඩ කළේ කියලා” යයි ද වනිඳු හසරංග වැඩිදුරටත් පැවසීය. 

ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් ඕවර දෙකේදී ලකුණු 36 ක් අවශ්‍යව තිබිණ. අස්මතුල්ලා ඔමර්සායි යැවූ 19 වැනි ඕවරයේදී ලකුණු 17 ක් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවසන් ඕවරයේදී තවත් ලකුණු 19 ක් අවශ්‍ය විය. එහි පළමු පන්දු 3 න් ලකුණු 08 ක් ලබාගත් කමිඳු මෙන්ඩිස්ට ඊළගට ලැබුණේ ඉණට ඉහළින් ගිය වේග පන්දුවකි. එය නිපන්දුවක් වනු ඇතැයි සියල්ලෝම පා ඉන්න පැත්තේ විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා වෙත බැලූ නමුත් විනිසුරුවරයා නොසෙල්වී සිටියේය. 

තරගයෙන් පසුව නායක වනිඳු හසරංග සහ විනිසුරු හැනිබල් මහතා අතර ඒ සම්බන්ධයෙන් බහින් බස්වීමක් ඇතිවූ නමුත් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාත් සෙසු ක්‍රීඩකයෝත් එක්ව දෙදෙනා දෙපසට කළහ. 

විනිසුරු ලින්ඩන් හැනිබල් මහතාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කළ වනිඳු හසරංග කිවේ මෙම විනිසුරුවරයා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු නැති බවයි. 

“ඒ වගේ දෙයක් අන්තර්ජාතික තරගයකදී වෙන්න බෑ”

“ළඟින් ගියා නම් කමක් නෑ. ඒත් ඒ වගේ එකක්... තව ටිකක් උඩින් ගියා නම් ඒක පිතිකරුවාගේ ඔලුවෙත් වදිනවා. ඒ වගේ එකක් පේන්නේ නෑ කියන්නේ ඒ විනිසුරුවරයා අන්තර්ජාතික මට්ටමට සුදුසු නෑ. එයා වෙන රස්සාවක් හොයාගත්තා නම් හොඳයි” යයි වනිඳු හසරංග පැවසීය. 

තරගාවලියේ ජයග්‍රහණය 2-1 ක් ලෙසින් ශ්‍රී ලංකා පිලට අත්වූ නමුත් පෙනි පෙනී තිබුණු ජයග්‍රහණය අහිමිවීම නිසා වනිඳු හසරංග දැඩි සේ කෝපාවිශ්ෂඨව සිටියේය. 

“මං එයාගෙන් ඉස්සෙල්ලාම ඇහුවේ එයා ලංකාවේ එක්කෙනෙක්ද කියලයි... ඒ වගේ තීන්දුවක් නොදී ඉන්න එයා වෙන රටක එක්කෙනෙක් වෙන්න ඕනේ.. ඒක ළඟින් ගිය එකක් නෙමේ. ඒක ඇත්තටම නිපන්දුවක්. ඒකයි මං ඇහුවෙ එයා ලංකාවෙ එක්කෙනෙක්ද කියලා”

“මම කිව්වේ එයා වැරැද්දක් කළා නම් ඒක පිළිගන්න ඕන. නිහතමානී වෙන්න ඕන කියලයි”

“ඕන මනුස්සයෙක්ගෙන් වැරැද්දක් වෙන්න පුළුවන්. ඒක අපි පිළිගන්නවා. ඒත් මේ මට්ටමේදී වැරැද්දක් වෙන්න බෑ. වැරැද්දක් වුණොත් ඒක පිළිගන්න එයා සූදානම් වෙන්න ඕන. එහෙම නැතුව මම හිතන්නෑ මේ ක්‍රීඩාවට සුදුසුයි කියලා ඒ පුද්ගලයා” යයි වනිඳු හසරංග මහත් අවධාරණයෙන් පැවසීය. 

කෙසේ වෙතත් වනිඳු හසරංග විනිසුරුවරයා සමගින් ඇතිකරගත් ඝට්ටනය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් මහතාගේ අවධානය යොමු වී ඇති බවත් දැනගන්නට ඇත. කිසියම් ආකාරයකින් වනිඳු වරදකරුවා වුවහොත් ඔහුට තරගයක හෝ තරග 2 ක තහනමකට ලක්වීමට සිදුවනු ඇත. 

වනිඳු හසරංග විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා (පසුපසින්) සමග බහින්බස් වෙමින්

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

අවසාන තීන්දුව ගන්න තුන්වැනි විනිසුරුවරයාට දෙන්න - වනිඳු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.