
ඡායාරූපය වමේ සිට
චන්දන ලියනගේ මහතා (ශ්‍රී ලංකා මාධ්‍ය සම්බන්ධීකාරක), මැක්ස්වෙල් ද සිල්වා මහතා (ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම්), සුරේෂ් සුබ්‍රමනියම් මහතා (ජාතික ඔලිම්පික් කමිටු සභාපති), ගාමිණී ජයසිංහ මහතා (ශ්‍රී ලංකා කණ්ඩායම භාර ප්‍රධානී)
(සංජීව ධර්මසේන - ටෝකියෝ නුවර සිට)
ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සෑහීමට පත්විය හැකි දක්‍ෂතා ඉදිරිපත් නොවුණද, ඔවුන් ලබාගන්නා අත්දැකීම් ඉදිරියේදී පැවැත්වෙන ආසියානු හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ඉවහල්වනු ඇති බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසීය. මෙවර ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවේ දක්‍ෂතා පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (28දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, මෙසේද පවසා සිටියේය.
&අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථා ලබාදිය යුතුයි. ඔවුන්ට අවස්ථා ලබානොදී අපි කොහොමද දක්‍ෂතා ඉදිරියට ගන්නේ. අද මේ අයගේ ඔලිම්පික් උළෙලේ දක්වන දක්‍ෂතා දිහා බලල තමයි, අනෙක් අය ඉදිරියට එන්නේ. ඔලිම්පික් කමිටුම සෑම කැපකිරීමක්ම කරලා තිබෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ පොඩි රටක් වුවත්, වයිල්කාඩ් අවස්ථාව හය දෙනෙකු ලබාගන්න හැකිවුණා. මේ ආව ළමයි දන්නවා ඔලිම්පික් පදක්කම් දිනන්න ඕන නම් මින් ඉදිරියට කරන්න ඕන කැපකිරීම්“
ඒ වගේම අපි බලාපොරොත්තුවෙනවා ඉදිරියේ පැවැත්වෙන ආසියානු හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදෙස් පුහුණුවක් ලබාදෙන්න. අපි මේ වනවිටත් ජාතික සංගම් සමඟ සාකච්ඡා කර තිබෙනවා දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබාදී ඔවුන්ව තව වසර කිහිපයකින් සූදානම් කරන්න. එදාට අපි ආසියානු, පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනයි. ඒ නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා හෙට අනිද්දා බලාපොරොත්තුවෙන්න බැහැ. ඒක කරන්න අමාරැ වැඩක්.
මෙහිදී අදහස් දැක් වූ ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා මෙසේ කීවේය.
&ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් කටයුතු සිට සියලු දේ කරනනේ ඒ ඒ ක්‍රීඩාවේ ජාතික සංගමය. ක්‍රීඩකයෙක් තරගයකට සූදානම් කරන්නේ පුහුණකරැ. ජාතික ඔලිම්පික් කමිටුව කරන්නේ ඔවුන්ව අන්තර්ජාතිකව සම්බන්ධ කරන එක. කෙසේ නමුත් ජාතික සංගම්වල නිර්දේශ මත අපි ක්‍රීඩකයන්ට ශිෂ්‍යත්ව ලබාදීමට ඍජුව මැදිහත්වෙලා තිබෙනවා.
අපි දැනටමත් මිල්කා ගිහානි 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සූදානම් කරන්න ඇගේ ජපාන ශිෂ්‍යත්වය 2024 වෙනකම් දීර්ඝ කර තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී ඇයගෙන් මීට වඩා දක්‍ෂතා බලාපොරොත්තු විය හැකියි. ඒ වගේම අපි තව ක්‍රීඩා කිහිපයකටම මෙවැනි ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා පහළ වැටීම සම්බන්ධයෙන් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම භාර ප්‍රධානී ගාමිණී ජයසිංහ මහතාගෙන් විමසා සිටි අතර, හෙතෙම පවසා සිටියේ සෑම කෙනෙකුම අවම දෙවැනි වටය දක්වා හෝ යනු ඇති බවට බලාපොරොත්තුව සිටි බවයි. නමුත් කෝවිඩ්-19 බලපෑමත් සමඟ පුහුණුවීම් නිසිලෙස සිදුකිරීමට නොහැකි වූ බව හෙතෙම පැවසීය. කෙසේ නමුත් ලොව අනෙකුත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතාද කෝවිඩ් බලපෑම ඉදිරියේ පහළ මට්ටමක තිබූ බව ඔහු පැවසීය.
මෙවර ඔලිම්පික් උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟවැදි ක්‍රීඩා ඇඳුමේ ජාතික ධජය මුද්‍රණය නොවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්විය. එහිදී පැහැදිලි කිරීමක් සිදුකළ මෙවර ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා මාධ්‍ය සම්බන්ධීකාරක චන්දන ලියනගේ මහතා මෙසේ පැවසීය.
ජාතික ඔලිම්පික් කමිටුව පළමු වරට මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අංග සම්පූර්ණ ඇඳුම් කට්ටලයක් ලබාදී තිබෙනවා. ඒ සඳහා අනුග්‍රාහක ආයතන මඟින් ලැබුණු මුදලින් මිලියන 3.1 කට වටිනාකමක් වෙන්කළා. ඒ නිසා ඇඳුම් සම්බන්ධයෙන් අපට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම දුන්නා.
නමුත් මෙහි ඇති වූ ලොකුම ප්‍රශ්නයක් වුණේ ක්‍රීඩාකළ ඇඳුමේ ජාතික ධජය මුද්‍රණය වී නොතිබීම. නමුත් අපට ඕන ඕන තැන්වල ජාතික ධජය හෝ හෝ බැජ් ගහන්න බැහැ. ඒ සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් අවසර ගත යුතු අතර, එය සිදුකළ යුත්තේද අදාල ක්‍රීඩාවේ අන්තර්ජාතික ක්‍රීඩා සංගමය හරහා ජාතික සංගමය. නමුත් මෙවර ඔලිම්පික් වරම් හිමිකරගන්නා විට ලාංඡන පැළදීමට අවසර ගත යුතු කාලසීමාව පසුවෙලා තිබුණේ යැයි පැවසීය.
(ඡායාරූපය - ජාතික ඔලිම්පික් කමිටුව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.