Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවධානය පාපන්දු ක්‍රීඩාවට
කටාර් - 2022

අවධානය පාපන්දු ක්‍රීඩාවට

editorial - 2022 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඒඑෆ්පී ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට සතියක් තිබියදී, පාපන්දු ලෝක කුසලානය හෙවත් ‘ජූල්ස් රිමේට්’ කුසලානය පසුගිය ඉරිදා (13 වැනිදා) කටාර් රාජ්‍යයට ගෙන එන ලදි. ඒ සමගම පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සහ පාපන්දු ලෝලීහු කටාරයට පැමිණීම ආරම්භ කළහ.

කටාරයේ ප්‍රධානතම ගුවන් තොටුපොළ වන දෝහා ගුවන් තොටුපොළට කාර්ය බහුල කාලයක් ලඟා වී තිබේ.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත දෙසැම්බර් 18 වැනිදා පිරිනැමිමට නියමිත කුසලානය, රටවල් 51 ක ප්‍රදර්ශනය කිරීමෙන් පසුව, දෝහා නුවරට ගෙනැවිත් තිබේ.

ලබන ඉරිදා (20 වැනිදා) සත්කාරක කටාර් රාජ්‍යය සහ ඉක්වදෝරය අතර තරගයෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වේ. මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30 ට ආරම්භ කිරීමට නියමිතය.

සංක්‍රමණික කම්කරුවන්, කාන්තාවන් මෙන්ම ලිංගික ආශාවන් සම්බන්ධයෙන් වෙනස් මතිමතාන්තර දරන ප්‍රජාව කෙරේ කටාර් වැසියන් සලකන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර අවධානයක් යොමුවී තිබේ. එහෙත් ඒවා එසේ තිබියදීම “පාපන්දු ක්‍රීඩාවට අවධානය යොමු කරන්න” යයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ඉල්ලා සිටී. එසේ වුවත් පාපන්දු ලෝකෙට ලොක්කාගේ ඉල්ලීම් ගැන සැලකිල්ලක් නැත.

මේ අතර කටාර් බලධාරීහු තමන් වෙත එල්ල වන චෝදනා බොහෝ කෝපයෙන් ප්‍රතික්ෂේප කරමින් සිටිති. පසුගිය ඉරිදා කටාරයේ දේශීය මාධ්‍ය හුවාදක්වා තිබුණේ සමහර බටහිර රටවල් “උඩඟුකම” ප්‍රදර්ශනය කරමින් සිටින බවයි.

එක්සත් ජනපද පාපන්දු කණ්ඩායම දැනටමත් දෝහා වෙත පැමිණ ඇති අතර ඕස්ටේ්‍රලියානුවෝත් ඉරිදා එහි පැමිණියහ. එහෙත් පැරිසියේ ශාන්ත ජර්මේන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ආර්ජන්ටිනා නායක මෙසී සහ ප්‍රංශ ජාතික කයිලියන් බාපේ ඇතුළු බොහෝ පාපන්දු තරු තවමත් යුරෝපීය අන්තර්ජ සමාජ තරඟවලට සම්බන්ධ වී සිටිති.

කටාරය යනු පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන කුඩාම රටයි. එහි පාපන්දු ලෝලීන් මිලියනයකට වඩා සිටිනු ඇතැයි පුරෝකතනය කෙරෙන නමුත් එය එසේම ද යන්න සැකයක් තිබේ.

කටාරයේ ප්‍රධාන ගුවන් සේවය වන කටාර් එයාර්වේස් හි ප්‍රධාන විධායක අක්බාර් අල්-බාකර් මහතා පැවසුවේ ලෝක කුසලාන තරගාවලිය නිසා සියලුම ගුවන් යානාවල ආසන පිරී ඇති බවයි.

පාපන්දු ලෝලීන්ගේ නවාතැන් වෙනුවෙන්, එකක 10,000 කට පමණ නවාතැන් ගතහැකි, අධි සුඛෝපභෝගී නෞකා  තුනක් දෝහා වරායට පැමිණ තිබේ. මෙම නෞකා තුනම එම්.එස්.සී යුරෝපා සමාගමට අයත් ඒවාය.

ඉස්ලාම් සංස්කෘතිය හේතුවෙන් කටාර්හි මත්පැන් සහ සූදුව තහනම්ය. එබැවින් සමාරම්භක උත්සවය සඳහා සම්ප්‍රදායික ෂැම්පේන් වෙනුවට රෝස වතුර බෝතලයක් භාවිතා කෙරේ. නෞකාවේ කැසිනෝ ශාලාව ‘දෝහා’ වරායේදී වසා දැමීමට නියමිතය.

දින 29ක් පුරා පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු සති දෙක සඳහා මෙම නෞකා තුනම සම්පූර්ණයෙන්ම වෙන්කරවා ගෙන ඇති බව එම්.එස්.සී. සමාගම පවසයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් හමුදා සූදානම් වන බැවින් ප්‍රධාන වීදිවල මෙන්ම මෙට්‍රෝ දුම්රිය ස්ථානවලත් ක්‍රීඩාංගණ අවටත් බාධක දමා තිබේ. සංවිධායකයින් පවසන්නේ තරගාවලිය සඳහා වන ප්‍රවේශපත්‍ර මිලියන 3.1 න් මිලියන 2.9 ක් අලෙවි වී ඇති බවයි.

 


අදහස් (0)

අවධානය පාපන්දු ක්‍රීඩාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.