Last Update  :  2025-07-31 16:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපිට ලකුණු 20 ක් විතර මදි වුණා - තීක්ෂණ

අපිට ලකුණු 20 ක් විතර මදි වුණා - තීක්ෂණ

editorial - 2021 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගය පරාජය වීමට හේතුව කුසල් පෙරේරා අතින් ගිළිහුණ ‍ඩේවිඩ් වෝනර්ගේ උඩ පන්දුව නොවන බවත්, ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 20 ක් පමණ අඩුවෙන් ලබාගැනීම මෙන්ම පන්දු යවන්නන්‍ හොඳින් පන්දු නොයැවීමද පරාජයට හේතු වූ බවත් මහීෂ් තීක්ෂණ පවසයි.

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රහස්පතින්දා (28 වැනිදා) පැවැති පළමු කාණ්ඩයේ තරගයෙන් අනතුරුව තීක්ෂණ ඒ බව කියා සිටියේය. මූලික වටයේ තරග 3 කදී කඩුලු 8 ක් දවාගෙන සිටි තීක්ෂණ, ඇලපතේ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ තරගයේදී විවේක ගත් අතර ඕස්ට්‍රේලියා තරගයේදී කඩුලු දවාගැනීමට අසමත් විය.

 “කා අතිනුත් වැරදීම් වෙනවා. ඒ නිසා උඩ පන්දුව ගිළිහී යෑම පරාජයට හේතු වුණා කියලා මම හිතන්නෙ නෑ.“

“අපි ලකුණු 20 ක් විතර පසුපසින් හිටියෙ. මොකද මේ තණතිල්ලේ හුගක් ලකුණු තිබුණා. මං හිතනවා ලබාගත්ත ආරම්භයත් එක්ක අපිට ලකුණු 170 කට වගේ යන්න තිබුණා කියලා. ඒ වගේම බලාපොරොත්තු වුණ තරම් හොඳින් අපිට පන්දු යවන්නත් බැරි වුණා.” යැයි තීක්ෂණ පැවසීය.

“වේගවත් ආරම්භයක් ලැබුණත් ඉනිම මැදදි එක ලඟ කඩුලු 4 ක් බිඳවැටුණ නිසා අපිට බලාපොරොත්තු වුණ ඉලක්කයට යන්න බැරි වුණා. තණතිල්ල පිතිකරුවන්ට හුඟක් වාසිදායක වුණා. ඒත් ඒ වෙලාවෙ තිබුණ තත්ත්වයක් එක්ක අපිට ලකුණු 20 ක් විතර අඩුවෙන් ඉනිම නිමා කරන්න වුණේ. ඒක තමයි තරගය පරාජය වෙන්න ගොඩක්ම හේතුවෙන් ඇත්තේ කියලා මම හිතනවා.” යැයිද තීක්ෂණ සඳහන් ‍කළේය.

තරගයේ මුල් ඕවර 6  තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුල්ලක් දැවී ලකුණු 53 ක් පමණක් වුවත්, එහිදී කිසිවකු නොදැවී ලකුණු 63 ක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ළහිරු කුමාර විසින් යවන ලද සිවුවැනි ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක් රැස්කිරීමටද ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෝ සමත් වූහ.

 “ඒගොල්ලො (ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ) පවර් ‍ප්ලේ එකේදි හුඟක් හොඳින් පන්දුවට පහර දුන්නා. ඒත් ඒ වෙලාවෙ කඩුල්ලක් දවාගන්න අපිට බැරිවුණා. එතතින් තමයි තරගය ගොඩක්ම අනිත් පැත්තට හැරුණේ. මේ තරගයේදී මගේ පන්දු යැවීම ගැන වුණත් මම සෑහීමකට පත්වෙන්නෙ නෑ. මොකද මම මූලික සැලැස්මෙන් තරමක් පිටට ගියා කියලා මට හිතෙනවා. කඩුල්ලක් දවාගන්නම තමා මම උත්සාහ කළේ. ඊලඟ තරගවලදි ඒ වැරැද්ද හදාගන්න බලාපොරොත්තු වෙනවා.” යැයිද තීක්ෂණ පැවසීය.   

 


අදහස් (0)

අපිට ලකුණු 20 ක් විතර මදි වුණා - තීක්ෂණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.