
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ රග්බි ලීගයේ 7 වැනි සතියේ තරග එළබෙන සෙනසුරාදා (27 වැනිදා) සහ ඉරිදා (28 වැනිදා) පැවැත්වෙන අතර මේ වන විට තරගාවලිය තුළ අපරාජිතව සිටින කණ්ඩායම් 3 වන මහනුවර, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. සහ හැව්ලොක්ස් යන කණ්ඩායම 3 ම එහිදී තරග බිමට අවතීර්ණ වනු ඇත.
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සමග ඇති වූ ගංවතුර සහ නායයෑමේ තත්වයන් හේතුවෙන් කල් දැමූ මෙම තරගාවලියේ තෙවැනි සතියේ තරග, 7 වැනි සතියේ තරග ලෙස මෙම සති අන්තයේදී පැවැත්වෙනු ඇත. පිට පිටම ජයග්‍රහණ ලබා අපරාජිතව සිට හයවැනි සතියේදී හැව්ලොක්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ ගුවන් හමුදාවට මෙම සතියේදී විවේකයක් හිමිව තිබේ.
සෙනසුරාදා (27 වැනිදා) පැවැත්වෙන තරගවලදී යුද හමුදාවටද එරෙහිව හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය කොළඹ හැව්ලෝක්ස් ක්‍රීඩාංගණයේදීද, ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදීද තරග බිමට පිවිසෙනු ඇත.
නාවික හමුදාවට එරෙහිව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදීත්, පොලිසියට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතව ඇත්තේ ඉරිදා (28 වැනිදා) ය. මෙම සියලුම තරග පස්වරු 3.00 ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
හයවැනි සතිය අවසානයේ සී.ආර්. කණ්ඩායම ලකුණු 19 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර මහනුවර කණ්ඩායම එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 16 කට හිමිකම් කියමිනි. ගුවන් හමුදාව කණ්ඩායම ලකුණු 16 ක් ලබා තෙවැනි ස්ථානයේද, සී.එච්. කණ්ඩායම ලකුණු 15 ක් ලබා සිවුවැනි ස්ථානයේද රැදී සිටියි. පස්වැනි ස්ථානයේ පසුවන හැව්ලොක්ස් කණ්ඩායම ලබා සිටින ලකුණු සංඛ්‍යාව 14 කි.
හත්වැනි සතියේ තරග
■ දෙසැ. 27 - හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර කොළඹ හැව්ලෝක්ස් ක්‍රීඩාංගණයේදී
■ දෙසැ. 27 - ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී
■ දෙසැ. 28 - පොලිසිය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී
■ දෙසැ. 28 - නාවික හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.