Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අධිවේගී පාපැදි තරගමාලාව අද
අධිවේගී පාපැදි තරග

අධිවේගී පාපැදි තරගමාලාව අද

editorial - 2022 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කුරුණෑගල-මීරිගම අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් හෙට (14) එම අධිවේගී මගේ පැවැත්වෙන සුපිරි රේසින් පාපැදි තරග මාලාව සඳහා කාන්තා ඉසව්වක් එක් කිරීමට තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය. 

ඒ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇමැතිවරයාගෙන් කාන්තා ඉසව්වක් ඇතුළත් නොකිරීම ගැන විමසීම් කළ අවස්ථාවේදීය.

ඒ වන විට තරගාවලියට සූදානම් කර තිබුණේ සුපිරි රේසින් හා කනිෂ්ඨ යන පිරිමි ඉසව් දෙක පමණි.

හිටපු ක්‍රීඩා ඇමැතිවරයෙකු ද වන ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේදී කාන්තා ඉසව්වක් නොපැවැත්වීම අඩුපාඩුවක් බැවින් එමඅවස්ථාවේදීම තරග සංවිධායකයන්ට එය තරගාවලියට ඇතුළත් කරන ලෙස උපදෙස් දුන්නේය.

ඒ අනුව සුපිරි හා කනිෂ්‍ඨ යන පිරිමි ඉසව් දෙක හැරෙන්නට කාන්තා ඉසව්වද කිලෝමීටර් 83.6 ක් වන සමාන දුරකින් පැවැත්වෙන බව මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එච්.එල්. ක්‍රිෂාන්ත මහතා පැවැසීය.

පාපැදි සම්මේලනය බලපත්‍රලාභී වයස 23 න් පහළ (පිරිමි) කාණ්ඩයේ තරගකරුවන්ද සුපිරි රේසින් පිරිමි තරගයට සහභාගි විය හැකිය. කනිෂ්ඨ (පිරිමි) ඉසව්ව සඳහා වයස 18 න් පහළ (2004-2005-2006) යන වසරවලදී උපන් තරගකරුවන්ට සහභාගි විය හැකිය.

මෙම සියලු තරග ඉසව්හි ගමන් මාර්ගය වන්නේ මීරිගම අධිවේගී පිවිසුම අසළින් ආරම්භ වී මීරිගම කුරුණෑගල අධිවේගී ගමන් මාර්ගය ඔස්සේ කුරුණෑගල දීසාවට කිලෝමීටර් 41.8 ක් ධාවනය කර යග්ගල්පිටිය  පිවිසුම අසලින් හරවා නැවත එම මග ඔස්සේම මීරිගම අධිවේගී පිවිසුමට තරග අවසානය කරා ළඟා වීමය.

තරග අයදුම්පත් සිය පාපැදි ක්‍රීඩා සමාජයේ අනුමැතියෙන් අද (13 වැනිදා) දිනය නිමාවීමට පෙර පාපැදි තාක්ෂණික නිලධාරී, සුෂාන් කෝදාගොඩ මහතාට වට්ස්ඇප් 0778112171 යන අංකය ඔස්සේ යොමු කළ යුතුය.

සුපිරි රේසින් තරගය පෙරවරු 8.30 ටද කනිෂ්‍ට ඉසව්ව පෙරවරු 8.35 ට හා කාන්තා ඉසව්ව පෙරවරු 8.35 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

සුපිරි රේසින් තරගයේ ජයග්‍රාහකයාගේ සිට 10 වැනි ස්ථානය දක්වා රුපියල් ලක්ෂයේ සිට 10,000 දක්වාත්,  කනිෂ්‍ඨ ඉසව්වෙ 10 වැනි ස්ථානය තෙක් රුපියල් 50,000 සිට 7500 දක්වාත් හා කාන්තා ඉසව්වේ ජයග්‍රාහිකාවගේ සිට 5 වැනි ස්ථානය දක්වා රුපියල් 50,000 සිට 20,000 දක්වාත් මෙම තරග මාලාවේ මුදල් ත්‍යාග 25 ක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

ඡායාරූපය මීරිගම - කුරුණෑගල අධිවේගී මාර්ග පාපැදි තරගාවලිය පිළිබඳව කරනු පැහැදිලි කරන මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.එල්. ක්‍රිෂාන්ත මහතාද මෙහි වෙති.

ඡායාරූපය රුසිරු කොළමුන්නගේ


අදහස් (0)

අධිවේගී පාපැදි තරගමාලාව අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.