Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අතපසුවීම් නිසා අවසන් පූර්ව වටය මඟහැරුණා

අතපසුවීම් නිසා අවසන් පූර්ව වටය මඟහැරුණා

editorial - 2021 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද අබුඩාබි සිට...)

මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරුණ කණ්ඩායමක් ලෙස දැක්වූ දක්ෂතා සැලකිය යුතු මට්ටමක තිබූ නමුත්, සුළු සුළු අතපසුවීම් කිහිපයක් හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් ලෝක කුසලාන තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව කියා සිටියේය.

“ඇත්තටම කියන්න ඕන කණ්ඩායමක් විදියට තරගාවලිය පුරාම අපි හොඳින් ක්‍රීඩා කළා. සියලු ක්‍රීඩකයන් දස්කම් අතරට පැමිණුනා. යම් අවස්ථාවල ගන්න වුණ තීරණ වලින් සිදුවුණ පො‍ඩි පොඩි අතපසුවීම් නිසා තමයි අපිට අවසන් පූර්ව වටයට එන්න බැරි වුණේ. තරගාවලිය ක්‍රීඩා කරපු ආකාරය පිළිබඳව සෑහීමකට පත්වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ තරගාවලියට එන්න කළින් අපිට ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒ නිසා මේ ක්‍රීඩා කරපු විදිය ගැන සතුටු වෙන්න පුළුවන්.” යැයි දසුන් පැවසීය.  

මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතය‍ට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් 15 දෙනාගන් 7 දෙනෙකුම අවුරුදු 25 ට අඩු ක්‍රීඩකයෝ වූහ. නායක දසුන් ශානකද (30) සමග අවුරුදු 25 ත් 30 ත් අතර පසුවූ ක්‍රීඩකයන් 6 දෙනෙක් සංචිතයට ඇතුළත්ව සිටි අතර අවුරුදු 30 ඉක්මවූ ක්‍රීඩයන් දෙදනො වූයේ කුසල් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්ය. ඔවුන් දෙදෙනාම 31 වැනි වියේ පසුවූහ. ඔවුන් අතරින් විස්සයි-20 තරග 50 කට වැඩියෙන් ක්‍රීඩා කර තිබුණේ දසුන්, කුසල් සහ චන්දිමාල් පමණි.

භානුක රාජපක්ෂ (10), ළහිරු කුමාර (7), චාමික කරුණාරත්න (7), පැතුම් නිස්සංක (4), බිනුර ප්‍රනාන්ද්‍ර (4), මහීෂ් තීක්ෂණ (3), චරිත් අසලංක (3) යන ක්‍රීඩකයෝ ලෝක කුසලාන තරගාවලියට පෙර ක්‍රීඩා කර තිබුණේ විස්සයි-20 තරග 10 කටත් අඩුවෙනි. එහෙත් තරගාවලිය තුළදි කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔවුහු සමත් වූහ. තරුණ ක්‍රීඩකයන්ගේ දස්කම් සහ 2022 වසරේ ‍ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත මීළඟ ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් දසුන් මෙසේ අදහස් දැක්වීය.

“අත්දැකීම් අඩු වුණත් අපි එයාලට විශ්වාසය ලබාදීලා තියෙනවා පිට්ටනිය මැදට ගිහිල්ල ක්‍රීඩා කරන්න ඕන ආකාරය ගැන. මහේල ජයවර්ධන ඉන්නකොට ඔවුන්ට හුඟක් ලේසි වුණා තමන් ක්‍රීඩා කරන්න ඕන ආකාරය පිළිබඳව දැනුමක් ලබාගන්න.“

“මේ ව‍ගේ තැනක ඒ වගේ ක්‍රීඩකයො ඇවිල්ලා දස්කම් දක්වන එක ගැන රටක් විදියට අපි ආඩම්බර වෙන්න ඕන. මොකද අපි හැම වේලේම කියනවා තරුණ ක්‍රීඩකයො හරියට කරන්නෙ නෑ කියලා. ඒත් අපි එහෙම කතා කරන්නෙ නැතුව දිගටම ‍එයාලව දිරිමත් කළොත් ඉදිරියෙදි පරිණත ක්‍රීඩකයන් සහ තරුණ ක්‍රීඩකයන් එකතු කරලා හොඳ කණ්ඩායමක් හදාගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.”

“‍තරුණ කණ්ඩායමක් වුණාට මේ සේරම අපේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරලා තිබුණා. ඉතින් ඔවුන්ගෙන් ලබාගත්තු අත්දැකීමුත් එගොල්ලෝ (තරුණ ක්‍රීඩකයෝ) මෙතන්ට යොදාගත්තා කියලා මම හිතනවා. අපි දැක්කා මේ ලෝක කුසලාන තරගාවලියෙදි අපි මොනවද කළේ කියලා. ඉතින් අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් උදව් අරගෙන, ඒගොල්ලන්ගෙ අදහස් අරගෙන, අපේ පුහුණුකරුවන් සමග වැඩ කරලා, මේ තියෙන දක්ෂතා ඔපමට්ටම් කරගෙන ඊළඟ ලෝක කුසලාන තරගාවලියේදි මීට වඩා දුරක් යන්න බලාපොරොත්තු වෙනවා.”

“මම නාය‍කයෝ ගොඩ‍ දෙනෙක් එක්ක ක්‍රීඩා කළා. ලසිත් මාලිංග, ඇන්ජ‍ලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, උපුල් තරංග අත්දැකීම් අතින් ගොඩක් පරිපූර්ණ කළින් ක්‍රීඩා කරපු නායකයො එක්ක. මම ඒගොල්ලන්ගෙන් ඉගෙන ගත්තු දේවල් ගොඩක් තියෙනවා. මම ගොඩනැගුනෙ ඒ දෙවල් එක්ක. ඉතින් තරුණ ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කරන්න පුලුවන් වටපිටාවක් හදපු එක තමා මම කළේ. තරුණ ක්‍රීඩකයන්ව ගොඩනඟන්න, එයාලට විශ්වාසය ලබාදෙන්න, පුලුවන් හැම වෙලාවකම මම පුහුණු කාර්ය මණ්ඩලයට සහයෝගය ලබාදුන්නා.” යැයි දසුන් කියා සිටියේය.

තරගාවලිය තුළදී තමා කණ්ඩායම වෙනුවෙන් පාවෙන ක්‍රීඩකයකුයකුගේ භූමිකාව පණ පෙවූ බවත්, ඒ අනුව ඕනෑම වේලාවක පන්දුවට පහරදීමට සහ ඕනෑම වේලාවක පන්දු යැවීම තමාට තමා සූදනමින් සිටි බවත් දසුන් ශානක පැවසීය. තමාගේ පුද්ගලික දක්ෂතා පිටතට නොපෙනීමට එය හේතුවක් වූ බවත්, නායකත්වය තමාට අනවශ්‍ය පීඩනයක් නොවත් බවත් එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.  

“නායකත්වය කි‍යන්නෙ මට බරක් නෙමේ. ඒත් මම පන්දුවට පහරදෙන ස්ථානය හැමවෙලාවෙම පාවෙන ස්ථානයක් වගේ තමයි තිබුනෙ. මම ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජය ගත්තත්, ‍අන්තර් පළාත් තරගාවලියෙ ක්‍රීඩා කළත් හැමදෙනාම දැකලා ඇති මම ගොඩක් උඩින් පිතිහරඹයේ යෙදෙනවා. එතකොට එක දිගට මට ගොඩක් වෙලා පිතිහරඹයෙ යෙදෙන්න අවස්ථාව හම්බෙනවා.”

“ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙතනදි මම පාවෙන ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩා කළා කියන එක. ක්‍රීඩා සමාජවල, එල්.පී.එල්. එකේ වගේ ස්ථාවර තැනක් මට තිබුණා නම් මගේ දස්කම් එළියට එන්න තිබුණා. ඒත් මම හැමවෙලේම කණ්ඩායමට ඕන දේ කරන ක්‍රීඩකයෙක්. පන්දුව අතට ගත්තත්, පිතිත්ත අතට ගත්තත්. ඒ නිසා ඉදිරියෙදිත් ලැබෙන තැන මොකක් වුණත් මගේ උපරිම දක්ෂතා පෙන්නන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයි අවසාන වශයෙන් ඔහු කියා සිටියේය.

 


අදහස් (0)

අතපසුවීම් නිසා අවසන් පූර්ව වටය මඟහැරුණා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.