Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකාව සහභාගි වන 300 වැනි ටෙස්ට් තරගය හෙට (4 වැනිදා) ඉන්දියාවට එරෙහිව මොහාලිහිදී ආරම්භ වනු ඇත. මොහාලි ක්‍රීඩාංගණය වේග පන්දු යවන්නන්ට තරමක් වාසි දායක බැවින් වේග පන්දු යවන්නන් තිදෙනකු සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසීමට සූදානමින් සිටින බව නායක දිමුත් කරුණාරත්න පැවැසීය.
තරගයට පෙර දිනයේ (3 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් ඒ බව සඳහන් කළේය.
පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කිරීමේ අරමුණින් වේග පන්දු යවන්නන් තිදෙනාට අමතරව එක් විශේෂඥ දඟ පන්දු යවන්නකු පමණක් මෙම තරගයේදී කණ්ඩායමට ඇතුළත්වනු ඇතැයිද එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
“තණ තිල්ලේ පන්දුව පතිතවන ස්ථානවල තණකොල තරමක් වැඩිපුර තියෙනවා අපි දැක්කා. ඒ නිසා අපි බලනවා වේග පන්දු යවන්නන් තුන් දෙනෙක් යොදාගෙන ඒ තුළින් වාසියක් ලබාගන්න. ඉන්දියාව ගත්තත් මොහාලිවලදී හුගක් වෙලාවට වේග පන්දු යවන්නන් තුන් දෙනෙක් එක්ක තමයි ක්‍රීඩා කරන්නෙ. ඒ සඳහා ඔවුන්ට තියෙන ලොකුම වාසිය තමයි ඔවුන්ගේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනාම තුන් ඉරියව් ක්‍රීඩකයන් වීම. එත් එක් විශේෂඥ දඟ පන්දු යවන්නෙක් පමණක් යොදාගෙන පිතිකරුවෙක් වැඩි කරලා අපේ පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරගන්න අපි බලාපොරාත්තු වෙනවා. යැයි දිමුත් පැවසීය.
ඒ අනුව සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයන් 5 දෙදෙනාගෙන් තිදෙනකු මෙම තරගයේදී වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කිරීමට නියමිතය. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වන සුරංග ලක්මාල්ගේ අවසන් ටෙස්ට් තරගාවලිය මෙය වන බැවින් ඔහු අනිවාර්යෙන්ම මෙම තරගයට ක්‍රීඩා කරන බව නායකයා තහවුරු කළේය.
ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් වැඩි පිරිසක් දකුණත් පිතිකරුවන් වීම නිසා ශ්‍රී ලංකා සංචිතයේ සිටින එකම වමතින් වේග පන්දු යවන ක්‍රීඩකා වන විශ්ව ප්‍රනාන්දුටද හෙට තරගයට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතී. දුෂ්මන්ත චමීර හෝ ළහිරු කුමාර සෙසු වේග පන්දු යවන්නා ලෙස කණ්ඩායමට ඇතුළත් වීමට නියමිතය.
මෑත කාලයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කළ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය මෙම තරගයේදීත් යොදා ගැනීම සඳහා නායකයා බලාපොරොත්තුවෙන් සිටියි. එක් විශේෂඥ දඟ පන්දු යවන්නකු පමණක් ක්‍රීඩා කිරීම නිසා අවශ්‍ය අවස්ථාවලදී අතිරේක පන්දු යවන්නකු ලෙස ධනංජය ද සිල්වාගේ හෝ චරිත් අසලංකගේ සේවය ලබා ගැනීමටද දිමුත් අදහස් කරයි.
“විශේෂඥ දඟ පන්දු යවන්නන් විදියට දැනට අපිට ඉන්නේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයන්ම දෙදෙනෙක් (ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම) විතරයි. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක ක්‍රීඩා කරලා අපි බලනවා අඩු පාඩු ඕවර් ටික ධනංජයගෙන් හෝ චරිත්ගෙන් යවාගන්න. දැනට අපේ සංචිතයේ විශේෂඥ පිට දඟ යවන්නෙක් නැහැ. අෂේන් ඩැනියෙල්ට විසා සම්බන්ධ ගැටලුවක් නිසා තවමත් කණ්ඩායම සමග එක්වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා පිට දඟ පන්දු යවන්නෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන දේ ධනංජයට හෝ අලසංකට පැවරෙනවා.” යැයි දිමුත් සඳහන් කළේය.
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඉකුත් වසරේ (2021) නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පැවැති ටෙස්ට් තරගාවලියේදී ළහිරු තිරිමාන්නගේ අඩුව පිරවීම සඳහා තමා සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ පැතුම් නිස්සංක, මෙම තරගාවලියේදී අංක 3 ස්ථානයේ ක්‍රිඩා කරන බවද දිමුත් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
“කලින් තරගාවලියෙදි පැතුම් ඉනිම ආරම්භ කළේ තිරිමාන්න ක්‍රීඩා කරපු නැති නිසා. ඒත් අන්තිම කාලේ තිරි ඒ ස්ථානයේ හොඳින් ක්‍රීඩා කළා අපි දැක්කා. ඒ නිසා මෙම තරගයේදී ඔහු අනිවාර්යෙන්ම මාත් සමග ඉනිම ආරම්භ කරාවි. පැතුම් අංක 3 ස්ථානයේ තමා සෙල්ලම් කරන්න ඉන්නේ. නමුත් දෙවැනි ඉනිමෙදි පන්දුව හුඟක් දඟ කැවෙන්න ගත්තොත් උපක්‍රමශීලි පියවරක් විධියට පැතුම්ව ආරම්භක පිතිකරුවකු ලෙස යොදා ගන්න අපි බලාපොරොත්තු වෙනවා.” යැයි දිමුත් පැවසීය.
පිතිකරුවන් 7 දෙනකු සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට එක්වන බැවින් ඔවුන් තිදෙනා හැරුණුකොට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් අංක 5 ස්ථානයේද, ධනංජය ද සිල්වා අංක 6 ස්ථානයේද, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අංක 7 ස්ථානයේද පන්දුවට පහරදීමට නියමිතය.
කෙසේ වුවත් කණ්ඩායමේ අංක 4 ස්ථානය සඳහා තරගාවලියට පෙර සිටම දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් අතර තුන් කොන් සටනක් නිර්මාණය වී තිබිණ. එහෙත් මෙන්ඩිස්ගේ කළවේ ආබාධ තත්ත්වය තවමත් පූර්ණ වශයෙන් සුව වී නොතිබීම නිසා මේ වන විට එය චන්දිමාල් සහ අසලංක අතර පවතින ද්වන්ද සටනක් බවට පත්ව තිබේ.
වැඩිදුර කරුණු සලකා බැලීමේදී පන්දු යවන්නන් සිවු දෙනෙකු පමණක් මෙම තරගයට ක්‍රීඩා කිරීම නිසා අතිරේක පන්දු යවන්නකු ලෙසද යොදාගත හැකි චරිත් අසලංකට අංක 4 ස්ථානය ලබා දීමට වැඩි ඉඩක් පවතිනු ඇතැයි අනුමාන කළ හැකිය. අවසන් වරට ක්‍රීඩා කළ ඉනිම් 8 න් එකක්දී හෝ ලකුණු 50 සීමාව ඉක්මවා යෑමට චන්දිමාල් අපොහොසත්ව සිටීමද මෙම තරගයේදී අසලංකට අවස්ථාවක් හිමිවීමට හේතු විය හැකිය.
ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි සහභාගිවන 100 වැනි ටෙස්ට් තරගය මෙය වන අතර ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කළ 12 වැනි ක්‍රීඩකයා ලෙස හෙට ඔහු වාර්තා අතරට එක්වීමට නියමිතය. මේ දක්වා ටෙස්ට් තරග 99 ක ඉනිම් 168 කදී ද්විත්ව ශතක 7 ක්, ශතක 27 ක් සහ අර්ධ ශතක 28 ක් සමග ලකුණු 7962 ක් ලබා සිටින විරාට් කෝලි ලකුණු 50.39 ක සාමාන්‍යයට හිමිකම් කියයි. ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකර යෑම සඳහා ඔහුට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 38 ක් පමණක් බැවින් මෙම තරගයේදී ඔහු එම කඩයිම පසුකර යනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ධනංජය ද සිල්වා (උප නායක), ළහිරු තිරිමාන්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය
ඉන්දීය සංචිතය
රොහිත් ශර්මා (නායක), ජස්ප්‍රීට් බුම්රා (උප නායක), විරාට් කෝලි, මායන්ක් අගර්වාල්, රවිචන්ද්‍රන් අෂ්වින්, ශ්‍රෙයාස් අයියර්, රවින්ද්‍ර ජදේජා, රිෂාබ් පාන්ට්, ශ්‍රීකාර් බාරත්, කුල්දීප් යාදව්, මොහොමඩ් සාමි, මොහොමඩ් සිරාජ්, ප්‍රියන්ක් පන්චාල්, සෞරබ් කුමාර්, ශුබ්මන් ගිල්, හනුමා විහාරි, උමේෂ් යාදව් සහ ජයන්ත් යාදව්
sam Friday, 04 March 2022 12:23 PM
අයියෝ චන්දිමාල්ව නම් දාන්නම එපා. එයා කිව්වේ දැන් වැරැදි හදාගෙන ඉන්නේ හොඳට සෙල්ලම් කරන්න පුළුවන් කියලා. ඒ වුණාට ඉස්සර වගේම බිංදුම තමයි. චන්දිමාල්ට විශ්‍රාම යන්න කියලා දැනුම් දුන්නා නම් හොඳයි. ක්‍රිකට් බලන්නත් එපා කරවනවා.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.