Last Update  :  2024-04-27 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2024 දී ලෝක කුසලාන තරගාවලි 3 ක්

2024 දී ලෝක කුසලාන තරගාවලි 3 ක්

editorial - 2023 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර ගැටුම කෙතරම් ගැඹුරට විහිදී තිබුණද, ලබන වසරේදී ටෙස්ට් තරග 10 කට, එක්දින තරග 21 කට සහ විස්සයි-20 තරග 21 කටත්, ලෝක කුසලන තරගාවලි තුනකටත් සූදානම් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවී තිබේ. ලෝක කුසලාන තරගාවලි තුනෙන් පළමු වැන්න ලබන ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියයි. 

ලබන වසරේ ජූනි මාසයේදී බටහිර ඉන්දීය දූපත් සමූහයේදී මෙන්ම ඇමරිකාවේදීත් පැවැත්වෙන විස්සසි-20 ලෝක කුසලාන තරගාවලිය සහ සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වලදී බංග්ලාදේශයේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අනෙක් ලෝක කුසලාන තරගාවලි දෙකයි. කෙසේ වෙතත් කාන්තා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ඇතිද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරිණියන්ටත් අද දහවල් වන තුරුම නිශ්චිත වැටහීමක් නොතිබිණ. 

ශ්‍රී ලංකාවේ කාන්තා කණ්ඩායම, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින සහ විස්සයි-20 ආකෘති දෙකේදීම අංක 7 ස්ථානයේ සිටී. 

ශ්‍රී ලංකාව හ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ලබන ජනවාරි මාසයේ 6 වැනිදා පල්ලෙකැළේදී පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ අන්තර්ජාතික තරග මාලාව ආරම්භ වේ. මෙම තරගාවලියේ එක්දින තරග තුන ජනවාරි මස 6 - 8 සහ 11 දිනවලදී පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග තුන ජනවාරි මස 14 - 16 සහ 18 දිනවලදී රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

මෙම තරගාවලිය නිමා වී සතියකට පසුව, ටෙස්ට් තරගයක්, එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් සඳහා ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන 2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර බංග්ලාදේශයේදී පැවැත්වෙන සම්පූර්ණ සංචාරයක් සඳහාත් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වෙයි. 

කෙසේ වෙතත් 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග වලින්, ලබන වසරේ ශ්‍රී ලංකාවට ඇත්තේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග 3 පමණකි. එම තරග තුන අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී එංගලන්තයේදී පැවැත්වෙයි. 

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේදී පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය 2-0 ක් ලෙසින් පරාජය වූ බැවින් ශ්‍රී ලංකාව සතුව ප්‍රසාද ලකුණු කිසිවක් නැත. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටද ලබන වසර තරමක් කාර්ය බහුල වර්ෂයකි. කාන්තා ආසියානු කුසලාන තරගාවලිය ලබන වසරේදී පැවැත්වීමට නියමිතය. දකුණු අප්‍රිකාවේ සහ අයර්ලන්තයේ සංචාර දෙකකට අමතරව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලි දෙකකට ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වීමට නියමිතය. 

ආසියානු කුසලාන තරගාවලිය හැරුණු විට, අනෙක් කාන්තා සංචාර තුනම එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත වෙයි.  


අදහස් (0)

2024 දී ලෝක කුසලාන තරගාවලි 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.