Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2022දීත් ශ්‍රී ලංකාව සුදුසුකම් තේරීමේ වටයට

2022දීත් ශ්‍රී ලංකාව සුදුසුකම් තේරීමේ වටයට

editorial - 2021 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(ශානුක අරවින්ද සාජා සිට...)

තවත් මාස 11 කින් ඕස්ට්‍රේලියා‍වේදී පැවැත්වෙන (2022) විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකාවට සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා මෙම වසරේදී (2021) මෙන්ම පළමු වටය යටතේ තරග වැදීමට සිදුව තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලිය අවසන් වන විට විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින කණ්ඩායම් 8 සෘජුවම එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබන නමුත්, ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ පසුවීම නිසා ශ්‍රී ලංකාවට එම අවස්ථාව අහිමි විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට පෙර ‍විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, එහිදී සහභාගි වූ තරග 8 න් 5 ක් ජයගැනීමට සමත්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වන විට 9 වැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණියේය. එහිදී 8 වැනි ස්ථානයේ පසුවූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 10 වැනි ස්ථානය දක්වා පසුබැසීමද ශ්‍රී ලංකාවට පියවරක් ඉදිරියට යෑම සඳහා බෙහෙවින්ම ඉවහල් විය.

ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය මෙන්ම එහි 9 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවද මේ වන විට 232 බැගින් සම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාවන් ලබා සිටිති. යම් හෙයකින් මෙවර තරගාවලියේදී ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ පරාජයට පත්වූ තරග 3 න් එක් තරගයක් හෝ ජයගැනීමට සමත්ව සිටියා නම් ශ්‍රී ලංකාවට ලබන වසරේ ලෝක කුසලාන තරගාවලියේදී පළමු වටයට සහභාගි නොවී සෘජුවම සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව උදා කර ගැනීමට ඉඩක් තිබිණ.

 කෙසේ වුවත් දැන් පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාවට මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් පිලට, ස්කොට්ලන්තයට සහ නැමීබියාවටද ලබන වසරේදී සුදුසුකම් ලැබීමේ වටයෙන් පැමිණෙන  කණ්ඩායම් 4 ක් සමග පළමු වටය යටතේ තරග වැදීමට සිදුවනු ඇත.  ලබන ව‍සරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියද මෙවර ලෝක කුසලාන තරගාවලියට සමාන ආකෘතියකින් සමන්විත වේ. එබැවින් මෙම වසරේදී මෙන්ම ලබන වසරේදීද පළමු වටයේදී කණ්ඩායම් 8 ක් තරග වදින අතර ඉන් 4 ක් සුපිරි 12 වටයට සුදුසුකම් ලබනු ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලි‍ය අවසානයේ ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 8 පසුවන එංලගන්තය, පාකිස්තානය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය ලබන වසරේ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සෘජුවම සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් වෙති. ‍මෙවර ලෝක කුසලාන තරගාවලිය නිමාවීමට තවත් දින 6 ක් ඉතිරිව ඇති නමුත් එම කණ්ඩායම්වලින් කිසිවක් 8 වැනි ස්ථානයෙන් පහළට නොයනු ඇත.

වත්මන් ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර තරගාවලියේදී සුපිරි 12 දෙනාගේ වටයට සෘජුවම ඇතුළත්ව සිටි නමුත් එහිදී දැක්වූ ආසාර්ථකත්ව මත ‍ඔවුන්ට ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. ඒ අනුව ඔවුන්ට ලබන වසරේදී සෘජුවම සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවිය. කොදෙව් කණ්ඩායමේ පසුබැසීමත් සමග ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි බංග්ලාදේශයට ලබන වසරේදී සුපිරි 12 දෙනාගේ වටයට සෘජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථව උදාවිය.

පළමු වටයේදී ශ්‍රී ලංකාව, කොදෙව් පිල, ස්කොට්ලන්තය සහ නැමීබියාව සමග තරග වදින සෙසු කණ්ඩායම් 4 තෝරාගැනීම සඳහා ලොව වටා කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් පැවැත්වෙනු ඇත. එම කණ්ඩායම් 16 ට මෙවර පළමු වටයෙන් ඉවත්වූ අයර්ලන්තය, නෙදර්ලන්තය, ඕමානය සහ පැපුවා නිව්ගිණියාව මෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ රටවල් අතර ශ්‍රේණිගත කිරීම්හි ඉදරියෙන්ම සිටින සිම්බාව්වේ (11), නේපාලය (13), එක්සත් ආරබි එමීර් රාජ්‍යය (16) සහ සිංගප්පූරුව (20) යන රටවල්ද ඇතුළත් වෙති.

එම රටවල් 8 ට අමතරව ඇමරිකානු, ආසියානු සහ යූරෝපීය කළාපවලින් කණ්ඩායම 2 බැගින්ද, අප්‍රිකානු සහ නැගෙනහිර ආසියානු පැසිෆික් කළාපයෙන් එක් කණ්ඩායමක් බැගින්ද සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වනු ඇත. ආසියානු කළාපයෙන් බහරේනය සහ හොං කොං රාජ්‍යයද, යුරෝපීය කළාපයෙන් ජර්මනිය සහ ජර්සි රාජ්‍යයද, නැගෙනහිර ආසියානු පැසිපික් කළාපයෙන් පිලිපීනයද මේ වන විටත් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව උ‍දාකරගෙන සිටිති.

 


අදහස් (2)

2022දීත් ශ්‍රී ලංකාව සුදුසුකම් තේරීමේ වටයට
  • Krishan Senarath Sunday, 07 November 2021 06:17 PM

    අද පැවැත්වෙන තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරාජය වෙනවා... එවිට ඔවුන්ගේ ලකුණු 230 දක්වා පහළ ගියොත් ලංකාව 8 දක්වා ඉහළට එනවා.. එවිට නොවැම්බර් 15 පෙර මුල් 8 සිටින නිසා මූලික සුදුසුකම් ලැබීමේ වටයකට ක්‍රිඩා කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ.

    Reply 0       0

    Asanka Prasad Sunday, 07 November 2021 11:58 PM

    අද පැවැති නවසීලන්තය හා ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් නවසීලන්තය ජයග්‍රහණය කිරීම නිසා ඇෆ්ගනිස්තානය Rating 230 දක්වා පහළට යාම නිසා ශ්‍රේණිගත කිරිමේදි 10 වන ස්ථානය දක්වා පහළට යනවා... 7 වන ස්ථානයට බංග්ලාදේශයද, 8 වන ස්ථානය දක්වා ඉහළට ගමන් කිරිම නිසා 2022 වි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයකට ක්‍රීඩා කරන්න අවශ්‍ය නැහැ.. මුල් ස්ථාන 8 සිටින කණ්ඩායම් නොවැම්බර් 15 වනවිට සුදුසුකම් ලබන නිසා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.