Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2022 අවසන් තරගය මෙල්බර්න් පිටියට

2022 අවසන් තරගය මෙල්බර්න් පිටියට

editorial - 2021 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලබන වසරේදී පැවැත්වමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය තෝරාගත් බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (16 වැනිදා) නිවේදනය කළේය. මෙම තරගය 2022 නොවැම්බර් මස 13 වැනිදා පැවැත්වීමට නියමිතය.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පළමු වැනි අවස්ථාව මෙයයි.

පසුගිය වසරට (2020) නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට පැවැත්වීමට නියමිතව තිබූණේ ඕස්ට්‍රේලියාවේදිය. එහෙත් කොවිඩ්-19 වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් එය වසර දෙකකින් කල්දැමීමට සිදුවිය. පසුගිය ඉරිදා නිමා වූයේ 2021 දී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගාවලියයි.

ඒ අනුව පසුගිය ඉරිදා (14 වැනිදා) නවසීලන්තය පරාජය කරමින් දිනාගත් ශූරතාව ආරක්‍ෂා කරගැනීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානුවන්ට සිය මව්බිමේදීම ලැබෙනු ඇත.

ලබන වසරේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වේ. තරග පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගර 7 ක් තෝරාගෙන ඇත. නොවැම්බර් 9 සහ 10 දිනවල සිඩ්නි සහ ඇඩිලේඩ් ක්‍රීඩාංගණ වලදී අවසන් පූර්ව තරග පැවැත්වේ.

බ්‍රිස්බේන්, ගීලෝන්ග්, හොබාර්ට්, පර්ත්, තරග පැවැත්වෙන අනිකුත් ක්‍රීඩාංගණ ලෙසින් තෝරාගනු ලැබ ඇත. කෙසේ වෙතත් කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා දැනට පවතින අන්තර් ප්‍රාන්ත ගමන් සීමා 2022 ලෝක කුසලාන තරගාවලිය වන විට ලිහිල් කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

වසර 2020 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහ තරගය පැවැති මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීිඩාංගණයට එම තරගය නැරඹීම සඳහා 86,174 ක ක්‍රිකට් ලෝලී පිරිසක් එක්රැස් වූහ. එහිදී ඉන්දියානු කණ්ඩායම පරාජය කරමින් ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවෝ ලෝක කුසලාන දිනාගත්හ.

“කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ලැබූ සාර්ථකත්වය මත අපි 2022 තරගාවලියත් සැලසුම් කරනවා” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉසව් කළමණාකරු ක්‍රිස් ටෙට්ලි මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබිණ.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව මේ වන විටත් 2022 තරගාවලියේ ප්‍රධාන කොටසට (12 දෙනා අතරට) සුදුසුකම් ලබා සිටිති. ඒ 2021 නොවැම්බර් 15 වැනිදා වන විට තිබූ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම සිටින කණ්ඩායම් 8 යි.

ලබන වසරේදී ඕමානයේ සහ සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිත සුදුසුකම් තේරීමේ තරගාවලියකින් පැමිණෙන කණ්ඩායම් 4 ක් සමගින් නැමීබියාව, ස්කොට්ලන්තය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් කඩයිම් තරගාවලියකට සහභාගි විය යුතුය. එයින් සුදුසුකම් ලබන කණ්ඩායම් 4 ක් (කාණ්ඩයකින් 2 ක් බැගින්) ප්‍රධාන තරගාවලියේ 12 දෙනා අතරට එකතු වීමට නියමිතය.

 

- 213


අදහස් (0)

2022 අවසන් තරගය මෙල්බර්න් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.