
(ශානුක අරවින්ද)
ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් ලබන වසරේදී (2026) පැවැත්වීමට නියමිත ආසියානු වයස 19 න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි ශ්‍රී ලංකා රග්බි සංගමය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව හිමිව ඇත්තේ වසර 26 කට පසුව වන අතර මින් පෙර අවසන් වරට ආසියානු වයස 19 න් පහළ රග්බි ශූරතාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වී ඇත්තේ 2000 වසරේදීය.
එහිදී ජීවන් ගුණතිලකගේ නායකත්වයෙන් සමන්විත වූ ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම චිලී රාජ්‍යයේදී පැවැති වයස 20 න් පහළ ලෝක රග්බි ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා දස්කම් දැක්වීය.
වසර 26 කට පසුව ශ්‍රී ලංකාවට හිමිවූ මෙම අවස්ථාව මෙරට තරුණ රග්බි ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීමටත්, ඔවුන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාගැනීමටත් මහඟු අවස්ථාවක් බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි.
ලබන වසරේදී මෙම තරගාවලිය පැවැත්වෙන කාල වකවානුව සහ ඊට සහභාගි වන රටවල් පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිත අතර තරග පැවැත්වීමට සැලසුම් කරන ක්‍රීඩාංගණ පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමය මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.