Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් කොළඹට - දික්වැල්ල නුවරට

කුසල් කොළඹට - දික්වැල්ල නුවරට

editorial - 2021 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(රොෂාන් ගුණරත්න)

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර සඳහා දේශීය සුවිශේෂී ක්‍රීඩකයන් ලෙස නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක සහ වනිඳු හසරංග නම්කර තිබේ.

දඹුල්ල වයිකිංග්, මහනුවර ටස්කර්ස්, කලම්බු කිංග්ස්, ගාල්ල ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් ලෙස කණ්ඩායම් 5 ක් තරගාවලියට එක්වන අතර තරගාවලිය ලබන මස 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

පළමු අදියරේදී දේශීය සුවිශේෂී ක්‍රීඩකයන් ලෙස ලසිත් මාලිංග (ගාල්ල), ඇන්ජලෝ මැතිව්ස් (කොළඹ), තිසර පෙරේරා (යාපනය), දසුන් ශානක (දඹුල්ල) සහ කුසල් ජනිත් පෙරේරා (මහනුවර) නම්කරනු ලැබ තිබිණ.

පසුගිය තරගාවලියේදී දේශීය සුවිශේෂී ක්‍රීඩකයන් ලෙස කටයුතු කළ දසුන් ශානක සහ කුසල් ජනිත් පෙරේරා පමණක් මෙවරත් දේශීය සුවිශේෂී ක්‍රීඩකයන් ලෙස නම්කර ඇත. දසුන් ශානක සුවිශේෂී ක්‍රීඩකයා ලෙස පසුගිය වසරේ කටයුතු කළ දඹුල්ල වයිකිංග් කණ්ඩායමේ සිටින නමුත් මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා ලෙස පසුගිය වසරේ තෝරාගත් කුසල් ජනිත් පෙරේරා මෙවර කලම්බු කිංග්ස් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා ලෙස නම්කර තිබේ.

එමෙන්ම පසුගිය වසරේ දඹුල්ල වයිකිංග් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල මෙවර මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයා වන අතර ගාල්ල ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම්හි ක්‍රීඩයකයන් ලෙස කටයුතු කළ ධනුෂ්ක ගුණතිලක සහ වනිඳු හසරංග එම කණ්ඩායම්හි දේශීය සුවිශේෂී ක්‍රීඩකයන් ලෙස නම්කර ඇත.

ඒ ඒ කණ්ඩායම් සඳහා දේශීය සුවිශේෂී ක්‍රීඩකයකු මෙන්ම විදේශීය සුවිශේෂී ක්‍රීඩකයකුද නම්කළ හැකි අතර එක් අයකු සඳහා ඇමරිකානු ඩොලර් 60,000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 120 ක් හිමිවනු ඇත. ඊට අමතරව ඩයමන්ඩ්, ගෝල්ඩ්, ක්ලැසික් කාණ්ඩවලින් තවත් විදෙස් ක්‍රීඩකයන් 5 දෙනෙකු කණ්ඩායම් සඳහා තෝරා ගැනීමට හැකිවනු ඇත. එහිදී එම විදේස් ක්‍රීඩකයන් හට පිළිවෙලින් ඇමරිකානු ඩොලර් 50,000, 40,000 සහ 15,000 බැගින් හිමිවනු ඇත.

දේශීය සුවිශේෂී ක්‍රීඩකයාට අමතරව ගෝල්ඩ්, ක්ලැසික්, නැඟීඑන, අතිරේක ලෙස තවත් කාණ්ඩ 4 කින් දේශීය ක්‍රීඩකයන් 13 දෙනෙකු තෝරා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් වලට හිමිවනු ඇත. ඒ අනුව ගෝල්ඩ් කාණ්ඩය සඳහා ඇමරිකානු ඩොලර් 25,000 ක්, ක්ලැසික් කාණ්ඩය සඳහා ඇමරිකානු ඩොලර් 15,000 ක්,  නැඟීඑන කාණ්ඩය සඳහා ඇමරිකානු ඩොලර් 10,000 ක් සහ අතිරේක කාණ්ඩය සඳහා ඇමරිකානු ඩොලර් 3,000 ක් ගෙවනු ඇත.

ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසිය පෙර ඒ ඒ කණ්ඩායම් විසින් විදේශීය සුවිශේෂී ක්‍රීඩකයකු සහ ගෝල්ඩ් සුවිශේෂී ක්‍රීඩකයකු නම්කළ යුතුව ඇත. ක්‍රීඩක වෙන්දේසිය වට 20 කින් සමන්විත වන අතර එහිදි සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගැනීමට අවස්ථාව හිමිවේ. එහිදි එම කණ්ඩායම් සඳහා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුය.

පසුගියවර සංචිතයේ රැදී සිටි ක්‍රීඩකයින් අතරින් සිව්දෙනෙකු (දේශිය 2 හා විදේශීය 2) කණ්ඩායම් කළමණාකාරීත්වයේ අවශ්‍යතාවය මත මෙවර තරගාවලිය සදහා ද රඳවා ගැනීමට අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් රඳවාගත් ක්‍රීඩකයන් පිළිබඳ තොරතුරු ක්‍රීඩක වෙන්දේසියට පෙර තරගාවලි සංවිධායකයින් වෙත දැනුම් දිය යුතුව ඇත.

ක්‍රීඩක වෙන්දේසියේ 15 වැනි සහ 16 වැනි වටවල දී සිය කණ්ඩායම් සඳහා දේශීය නැගී එන ක්‍රීඩකයින් තෝරා ගැනීමට හැකිවනු ඇති අතර එහිදී 2021 ජනවාරි පළමු වැනිදා වන විට අවුරුදු 23 ට අඩු සහ ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 ජාතික කණ්ඩායමකට ක්‍රීඩා කර නොමැති ක්‍රීඩකයින් විය යුතුය. නමුත් 2021 ජනවාරි 01 දා හෝ ඊට පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් හට ද මෙම කාණ්ඩයෙන් ක්‍රීඩක වෙන්දේසිය එක්වීමේ අවස්ථාව හිමිවේ. 2021 ජනවාරි පළමු වැනිදා පෙර ශ්‍රී ලංකා ජාතික සංචිතයක් නියෝජනය කළද තරගයකට ක්‍රීඩා නොකල ක්‍රීඩකයන් සඳහා මෙහිදී ක්‍රීඩක වෙන්දේසීයට එක්වීමේ අවස්ථාව ඇත.

තරගයකට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගැනීමේදී අවම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් විය යුතු අතර උපරිම වශයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු එක් කර ගැනීමට අවස්ථාව හිමිවේ.

ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසියෙන් තෝරාගනු ලැබී ක්‍රීඩකයන් තරගාවලියට එක්කර ගැනීමට නොහැකි වුවහොත් ඒ සඳහා ඔවුන් වෙනුවට ආදේශක ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා තරගාවලිය ආරම්භයට දින 10කට පෙර ක්‍රීඩකයන් ආදේශ කිරීමේ වෙන්දේසියක් පැවැත්වෙනු ඇත. එම ආදේශ කිරීමේ දී තරගාවලියට එක් නොවන ක්‍රීඩකයා අයත් වූ කාණ්ඩයෙන්ම නව ක්‍රීඩකයින්ද තෝරා ගත යුතුව ඇත.

විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය හරහා අද (21) සිට 28 වැනිදා දක්වා සිදුකිරීමේ අවස්ථාව ඇත. ඒ සඳහා ලියාපදිංචි වන විදේශීය ක්‍රීඩකයන් සිය රටේ ජාතික කණ්ඩායම හෝ පළමුපෙල තරග ක්‍රීඩා කර තිබීම හෝ ප්‍රධාන විස්සයි20 ලීග් තරගාවලියක් (ප්‍රධාන සාමාජික රටවල්හි පවත්වන) ක්‍රීඩා කර තිබීම අනිවාර්යය වන්නේය.

ජාතික තේරීම් කමිටුවේ නිර්දේශ මත දේශීය ක්‍රීඩකයින් තෝරා ගැනීමට නියමිතව ඇත. එහිදි ඔවුන් ජාතික කණ්ඩායම, නැඟීඑන, සංවර්ධන සහ ‘ඒ’ කණ්ඩායම් නියෝජනය කිරීම හෝ ප්‍රධාන ක්‍රීඩා සමාජ තරගාවලියන්ට ක්‍රීඩා කර තිබීම සුදුසුකමක් ලෙස සලකනු ඇත.

 


අදහස් (0)

කුසල් කොළඹට - දික්වැල්ල නුවරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.