Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් උපදේශක මණ්ඩලය එල්.පී.එල්. වෙතින් ඉවත්වෙයි

ක්‍රිකට් උපදේශක මණ්ඩලය එල්.පී.එල්. වෙතින් ඉවත්වෙයි

editorial - 2021 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දෙවැනි වරටත් පැවැත්වීමට නියමිත එල්.පී.එල්. තරගාවලියට සම්බන්ධ සියලුම කටයුතු වලින් ඉවත් වීමට අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශක මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම තරගාවලියේ කටයුතු සොයා බැලීම සඳහා අමාත්‍යංශ මට්ටමේ මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතා බලාපොරොත්තුව සිටියේය. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් දැක්වීම් මෙන්ම උනන්දු කිරීම් තිබුණ නමුත් එල්.පී.එල්. තරගාවලිය වෙනමම කමිටුවක් මගින් නියාමනය කිරීම වඩාත් සුදුසු බව ක්‍රිකට් උපදේශක මණ්ඩලය ක්‍රීඩා ඇමතිවරයාට අවධාරණය කර තිබිණ.

අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශන මණ්ඩලයට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම දෙදෙනා සමග මුත්තයියා මුරලිදරන් ද ඇතුළත් වෙති.

පසුගිය වසරෙදී තරගාවලිය සාර්ථකව සංවිධානය කර අවසන් කරන ලද නමුත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයවිය යුතුව තිබූ මුදලින් තවත් සෑහෙන කොටසක් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවා නැති බව ද වාර්තා වේ.

සෑම එල්.පී.එල්. තරගාවලියකදීම, එහි අළෙවිකරණ අයිතිය හිමිකරගැනීම වෙනුවෙන්, අයි.පී.ජී.-ඩුබායි සමාගම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1.95 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 39 කි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජී. සමාගම වසර 5 කට ගිවිසුම්ගතව ඇත්තේ සෑම වසරකදීම කලින් වසරේදී ගෙවනු ලබන අළෙවිකරණ අයිතියේ වටිනාකම ඊළඟ වසරේදී 10්‍ර කින් ඉහළ යන පරිදිය. ඒ අනුව 2021 තරගාවලියේදී, අළෙවිකරණ අයිතිය වෙනුවෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 43 කට ආසන්නය.

මෙම සෑම මුදලක්ම අදාළ වර්ෂයේ තරගාවලිය ආරම්භ වීමට පොරතුව ගෙවිය යුතුව තිබේ. ඒ සම්බන්ධයෙන් අයි.පී.ජී. සමාගම විසින් බැංකු අණකරයක් නිකුත් කළ යුතු අතරම තරගාවලිය ආරම්භ වී පැය 24 ක කාලයක් ඇතුළත මෙම බැංකු අණකරය මුදල් කරගැනීමේ හැකියාවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබිය යුතුය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරියකු විසින් තහවුරු කරන ලද පරිදි, පසුගිය වසරේ තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදලින් අදාළ සමාගම මෙතෙක් ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 1.2 ක් හෙවත් රුපියල් කෝටි 24 ක් පමණි. එයට හේතුව වී ඇත්තේ පසුගිය වසරේ තරගාවලියෙන් ඩොලර් මිලියන 3 ක් හෙවත් රුපියල් කෝටි 60 ක් පමණ පාඩු විඳීමට අයි.පී.ජී.-ඩුබායි සමාගමට සිදුවීමයි.

කෙසේ වෙතත් ඉතිරි මුදල වන රුපියල් කෝටි 15 ත්, මේ වසරේදී ගෙවිය යුතු රුපියල් කෝටි 43 කට ආසන්න මුදලත් මේ වසරේ ජූලි මාසය අවසන් වීමට පෙර ගෙවිය යුතුව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේම තවත් විධායක කමිටු නිලධාරියකු පවසා සිටියේ පසුගිය වසරේ හිඟ මුදල ගෙවීමට අයි.පී.ජී.-ඩුබායි සමාගමට කාල දිගුවක් දී ඇති බවත් ඒ වෙනුවෙන් කිසිදු බැංකු අණකරයක් නිකුත් කර නොමැති බවත්ය.

වසර 2021 එල්.පී.එල්. තරගාවලිය සඳහා දැනටමත් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ආරම්භ වී තිබේ. එම ලියාපදිංචි වීම් මේ මස 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ක්‍රීඩක වෙන්දේසිය ලබන මස මුල් සතියේදී පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

ක්‍රිකට් උපදේශක මණ්ඩලය එල්.පී.එල්. වෙතින් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.