Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, නායක දසුන් ශානක සහ වනිඳු හසරංග එක්ව ධෛර්යවත් සටනක නිරත වූ නමුත් සිඩ්නි පිටියේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයේදීත් ඕස්ට්‍රේලියානුවෝ සුපිරි ඕවරයෙන් තරගය ජය ගත්හ. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලියේදී ඕස්ට්‍රේලියානුවෝ 2-0 ක් ලෙසින් පෙරමුණ ගත්හ.
ලකුණු සමවූ තරගයේදී පළමු සුපිරි ඕවරයට මුහුණ දුන් ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 5 කි. සුපිරි ඕවරයේදී ශ්‍රී ලංකා පිලේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 0, 0, 1, 1, 2 සහ 1 ක් වශයෙනි. එහෙත් පන්දු 3 කින් ලකුණු 9 ක් ලබාගත් ග්ලෙන් මැක්ස්වෙල් (1) සහ මාකස් ස්ටොයිනිස් (8) ඕස්ට්‍රේලියානුවන්ට තරගයේ ජය අත්කර දුන්හ.
තරගයේ වීරයා වශයෙන් සුපිරි ඕවරය ලකුණු 5 කට සීමා කළ ජොෂ් හේසල්වුඩ් තෝරා ගන්නා ලද්දේ ශ්‍රී ලංකා ඉනිමේදීත් ඕවර 4 කින් ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගත් බැවිනි.
ආරම්භක පිතිකරුවකු ලෙසින් පමණක් නොව, කණ්ඩායමේ කොඳු නාරටිය විය හැකි පිතිකරුවාත් තමන්ම බව පිට පිටම දෙවැනි වතාවත් පැහැදිළි කර දුන් පැතුම් නිස්සංක පන්දු 53 කට මුහුණ දෙමින් ලකුණු 73 ක් ලබාගත්තේ අවශ්‍ය තැනදී පීඩනයත් ප්‍රහාරයත් දෙකම මැනවින් පාලනය කරගනිමිනි.
තරගයේ 18 වැනි සහ 19 වැනි ඕවර වලදී පැට් කමින්ස් සහ ජොෂ් හේසල්වුඩ් දෙදෙනාට නිස්සංක ගැසූ හයේ පහර දෙක කණ්ඩායමේ කොඳුනාරටිය වීමේ හැකියාව සම්බන්ධයෙන් දිගු කතාවක් කීවේය. නිස්සංකගේ පන්දු 53 ඉනිම හයේ පහර 2 කින් සහ චිත්තාකර්ශනීය හතරේ පහර 7 කින් සමන්විත වී තිබිණ.
වනිඳු හසරංග දැවී යාමෙන් පසුව, තරගය ජයගැනීමට නම් අවසන් ඕවරයේදී ලකුණු 19 ක් අවශ්‍යව තිබිණ. නිස්සංක සහ දුෂ්මන්ත චමීර දෙදෙනාට එම උත්සාහයේ නිරතව සිටියදී ලෝන්ග් ලෙග් හි සිටි පැට් කමින්ස්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමකින් නිස්සංකගේ ලකුණු 73 ඉනිම නිමා විය. අවසන් පන්දු 3 න් ලකුණු 12 ක් අවශ්‍යව තිබියදී එයින් 11 ක් ලබාගැනීමට මහීෂ් තීක්‍ෂණ (6) සහ දුෂ්මන්ත චමීර (4) සමත්වූ හෙයින් තරගය සුපිරි ඕවරය දක්වා ඇදී ගියේය.
ඒ කෙසේ වෙතත් අවසන් ඕවරයේදී ලකුණු 18 ක් ලබාගත් ශ්‍රී ලංකා පිලට එම ඕවරයේදී යැවුණු වයිඩ් පන්දුවකින් ලැබිය යුතු ලකුණ අහිමි නොවූයේ නම් සුපිර ඕවරයට යා නොදීම තරගයේ තීරණය ශ්‍රී ලංකා පිලට වාසිදායක වන්නට තිබිණ.
පළමු ඕවරයේ සිටම ලකුණු 8.00 ක සාමාන්‍ය වේගයක් පවත්වාගෙන ගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්හ.
ඉනිමේ අවසන් ඕවර 5 දී කඩුලු 6 ක් අතැතිව සිටි නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පන්දුවේ වේගය වෙනස් කරමින් ඉතා සාර්ථක පන්දු යැවීමක නිරත වූහ. ඒ හේතුවෙන් අවසන් ඕවර 5 දී ඕස්ට්‍රේලියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 47 ක් පමණි. කෙසේ වෙතත් නියමිත කාලය ඇතුළතදී ඕවර 20 යැවීමට අපොහොසත් වීම හේතුවෙන් අවසන් ඕවරයේදී එක ක්‍රීඩකයකු යාර 30 වළල්ලෙන් ඇතුළත රඳවාගන්නා ලෙස විනිසුරුවරු ශ්‍රී ලංකා නායකයාට අවවාද කළහ.
සිය දෙවැනි වි-20 අන්තර්ජාතික තරගයට ක්‍රීඩා කළ 26 හැවිරිදි ජොෂ් ඉංග්ලිෂ් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක යෙදුණේ පළපුරුදු පිතිකරුවකුගේ විලාසය පෙන්නුම් කරමිනි. පන්දු 32 කට මුහුණ දුන් ජොස් ඉංග්ලිෂ් ඒවායින් 5 ක් හතරේ සීමාවට යැවීය. 14 වැනි ඕවරයේදී දසුන් ශානකගේ තවත් විශිෂ්ට උඩපන්දුවක් හේතුවෙන් ජොෂ් ඉංග්ලිෂ් පිටියෙන් ඉවත් වන විට පුවරුවට ලකුණු 113 ක් එක්වී තිබිණ.
කෙසේ වෙතත් එතැන් සිටි ඕස්ට්‍රේලියානුවන් සිතූ වේගයෙන් ලකුණු ලබාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවසර නොලැබුණද කඩුලු රකින්නා වූ මැතිව් වේඩ් හදිසි ආක්‍රමණයක යෙදෙමින් පන්දු 4 කින් ලකුණු 13 ක් ලබාගත්තේ ඉනිමේ එකම හයේ පහරට හිමිකරුවා වෙමිනි.
පළමු තරගය පරාජය වූයේ ඉලක්කය හඹා යමින් වුවද දෙවැනි තරගයේදීත් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා කිසිම පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. එහෙත් පළමු තරගයේදී සාර්ථකම පන්දු යවන්නා වූ බිනුර ප්‍රනාන්දු අසනීප වීම හේතුවෙන් නුවන් තුෂාරට ශ්‍රී ලංකා හිස්වැස්ම හිමිවිය.
ඕස්ට්‍රේලියානු පිලේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නනු වන මිචෙල් ස්ටාක් විවේක ගැන්වූ තේරීම් කමිටුව මෑතකදී නිමා වූ බිග් බෑෂ් ලීගයේදී කඩුලු 19 ක් දවාගත් කේන් රිචඩ්සන් මෙම තරගයට කැඳවා තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.