Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. ක්‍රීඩකයෝ පොලිස් රැකවල් බිඳ දමති

සී.ආර්. ක්‍රීඩකයෝ පොලිස් රැකවල් බිඳ දමති

editorial - 2025 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) හත්වැනි සතියේ තරගයක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර අද (28 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 46-22 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. සී.අර්. කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ සිවුවැනි ජයග්‍රහණය මෙය විය.

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධයේදී නිමාවට පත් වන විට සී.ආර්. කණ්ඩායම ලකුණු 17-03 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. එහිදී සී.ආර්. ක්‍රීඩකයන් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර පොලිස් ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි.

දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් තවත් ලකුණු 29 ක් සිය ලකුණු මල්ලට එක්කර ගැනීමට සී.ආර්. ක්‍රීඩකයන් සමත් වෙද්දී, පොලිස් ක්‍රීඩකයන්ට දඬුවම් උත්සාහක දිනුමක්, ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 19 ක් පමණි.

අපරික්ෂාකාරී ක්‍රීඩා විලාශය හේතුවෙන් තරගයේ 49 වැනි විනාඩියේදී සී.ආර්. කණ්ඩායමේ ඔමල්ක ගුණරත්න විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබූ අතර 59 වැනි සහ 77 වැනි විනාඩිවලදී පිට පිටම කහ කාඩ්පත් දෙකක් ලැබීම හේතුවෙන් සී.ආර්. කණ්ඩායමේ යෝෂිත සිතුමිණට රතු කාඩ්පතක් ලබා තරගයෙන් ඉවත්ව යෑමට සිදුවිය.

සිවුවැනි විනාඩියේදී පසිඳු බණ්ඩාර ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට තේනුක නානායක්කාර සමත් වීමත් සමග ලකුණු 7-0 ක් ලෙස සී.ආර්. කණ්ඩායම ‍තරගයේ පෙරමුණග ගත්තේය. පොලිසිය තරගයට අවතීර්ණ වූයේ 7 වැනි විනාඩියේදී ඔවුන්ට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට පසිඳු තාරුක සමත් වීමත් සමගිනි.

තරගයේ 25 වැනි සහ 31 වැනි විනාඩිවලදී පිට පිටම උත්සාහක 2 ක් වාර්තා කළ සී.ආර්. කණ්ඩායමේ චෙමොද් මුතුනායක පළමු අර්ධය නිමාවට පත්වන විට 17-3 ක් ලෙස ලකුණු පරතරය ඉහළ නංවාගැනීම සඳහා සිය කණ්ඩායමට දායකත්වය සැපයීය. කෙසේ වුවත් එම උත්සාහක දිනුම් දෙකේම ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට තේනුක නානායක්කාර අසමත් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 6 ක් ගතවන විට සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඔමල්ක ගුණරත්න සමත් විය. එතැන් පටන් විනාඩි 8 ක් ඇතුළත (54 වැනි විනාඩියේදී) විදුන අමනෙත් ලබාගත් උත්සාහක දිනුම සහ සුබේර් දොරේ සාර්ථක කරගත් එහි ප්‍රවර්ථනයත් සමග සී.ආර්. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 29 ක් දක්වා ඉහළ ගියේය.

තරගයේ 59 වැනි විනාඩි‍යේදී දඬුවම් උත්සාහක දිනුමක් හිමිවීමත් සමග හිස එසවූ පොලිසිය වෙනුවෙන් 61 වැනි විනාඩියේදී පසිඳු තාරුක උත්සාහක දිනුමක් වාර්තා කළේය. එතැන් සිට විනාඩි 5 ක් ගත වීමටත් මත්තෙන් එනම් 66 වැනි විනාඩියේදී පොලිසිය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් ලබාගැනීමට රුක්ෂාන් මධුෂංක සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ප්‍රින්ස් චාමර එය ගෝල දිනුමක් බවට පත් කළේ ලකුණු තත්වය 29-22 ක් ලෙස ඉහළ දමමිනි.

කෙසේ වුවත් ඉන් අනතුරුව තරගයේ පාලනය සියතට ගත් තේනුක නානායක්කාර, 70 වැනි විනාඩියේදී සී.ආර්. කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක් මෙන්ම 73 වැනි විනාඩියේදී විදුන අමනෙත් වාර්තා කළ උත්සාහක දිනුමේ සහ 79 වැනි විනාඩියේදී තමා වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයන්ද සාර්ථක කරගත්තේ සිය කණ්ඩායමට තවත් ලකුණු 15 ක් එක් කිරීමට දායකත්වය ලබාදෙමිනි. 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ පොලිස් රැකවල් බිඳ දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.