Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා - මාලදිවයින් තරගය හෙට

ශ්‍රී ලංකා - මාලදිවයින් තරගය හෙට

editorial - 2022 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

උස්බෙකිස්ථානයේ නමන්ගාන් නුවරදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන (2023) පාපන්දු නිර්දේශ ලබා ගැනීමේ තෙවැනි තරග වටය නිමාවට පත් කෙරෙන ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරගය හෙට (14) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5ට ‘මර්කාසි’ ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

දකුණු ආසියාවේම අවධානය දිනා ගන්නා මෙම තරගයේදී දෙරට මුණගැසෙන්නේ මාස හතකට නොඅඩු කාලයකිනි. දෙරට අතර අවසන් ජාත්‍යන්තර පාපන්දු තරගය 2021 නොවැම්බර් 9 වැනිදා රීඩ් මාවතේ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති අවස්ථාවේදී ගෝල 4-4ක් ලෙස තියුණු මුහුණුවරක් හමුවේ සම තත්ත්වයෙන් නිමාවට පත් විය.

ඒ අගමැති කුසලාන සිව් කොන් තරගාවලිය යටතේය. දෙරට මාලේ නුවරදී 2021 ඔක්තෝබර් 10 වැනිදා මුණගැසුණු  අවස්ථාවේදී මාලදිවයින ගෝල 1-0කින් ජය ගත්තේ එහිදී පැවැති 2021 සාෆ් පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන අවහිර කරමිනි.

කෙසේ වුවත් මාලදිවයින මුල් අවස්ථාවේදී ශ්‍රී ලංකාවෙන් පාපන්දු ගුරුහරුකම් ලබමින් ජාත්‍යන්තර තරග බිමේ ඉදිරියට පැමිණි කණ්ඩායමක් ලෙස සැලකේ. එසේ වුවත් පසු කාලයේදී ඔවුන් දකුණු ආසියානු කලාපයේ වඩාත්ම ප්‍රබලතම පාපන්දු කණ්ඩායමක් බවට පත් වෙමින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කළේය.

එහි ප්‍රතිඵලය වූයේ පසුකාලීනව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ ඔවුන් හමුවේ දිගින් දිගටම පරාජය වීමය. 2013 සාෆ් පාපන්දු ශූරතා තරගාවලියේදී ඔවුන් වෙතින් ශ්‍රී ලංකාව ලද පරාජය ගෝල 10-0ක්  තරම් සැහැසි විය.

එපරිදිම 1984 කොළඹදී දෙරට අතර පැවැති සුහද තරගයකදී ශ්‍රී ලංකාව විසින් මාලදිවයිනට ගෝල 5-2ක් තරම් වන දරුණු පරාජයක් අත්කරදී තිබේ.

ශ්‍රී ලංකාව මාලදිවයින හමුවේ මේ දක්වා ලබාගත් අවසන් පැහැදිලි පාපන්දු ජයග්‍රහණය 2002 තරම් ඈතට දිවයයි. 2022 අප්‍රේල් 4 වැනිදා කොළඹ පැවැති දෙරට අතර සුහද ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාව ගෝල 1-0ක ජයක් එහිදී අත්කර ගත්තේය.

කෙසේ වුවත් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මේ වනවිට 156 වැනි ස්ථානයේත් ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව 31 වැනි ස්ථානයේත් කල් ගෙවන මාලදිවයින වසර 2021 ජූනි මාසයේ සිට මාලදිවයින මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරග 13කට මුහුණදී ඉන් ජය ගෙන ඇත්තේ තරග තුනක් පමණි. ඒ බංගල්දේශයට එරෙහිව තරග දෙකකදී හා ශ්‍රී ලංකාවට එරෙහිව එක් තරගයක් ජය ගනිමිනි. තරග තුනක් සම කරමින් ඉතිරි තරග පරාජයට පත්ව තිබේ.

නමන්ගාන් නුවරදී මෙම තරග වටයේදී හෙට ශ්‍රී ලංකාවට මුහුණ දෙන මාලදිවයින සහභාගි වූ තරග දෙකකදී තායිලන්තයට ගෝල 3-0 කින්ද, උස්බෙකිස්තානයට ගෝල 4-0කින්ද පරාජය වී තිබේ.

මෙම තරග වටයේදී මෙම දෙරට වෙතින්ම ශ්‍රී ලංකාවද තරග දෙකක් පරාජයට පත්විය. ඒ අනුව එහි පරාජිතයන් දෙදෙනා අතර හෙට පැවැත්වෙන තරගයේ තීරණය තරග වටයේ සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් නොකරන නමුත් ඔවුන්ට යම් ගෞරවයක් ඉතිරිකර ගත හැකි තරගයක් බවට එය පත්ව තිබේ.

ශ්‍රී ලංකා පිලේ නායක සුජාන් පෙරේරාට අද තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමිවීම තුළින් කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නාගේ සේවයද ශ්‍රී ලංකා පිලට අහිමිව ගොස් තිබේ. ඒ හේතුවෙන් තාවකාලික නායකයකු හා තාවකාලික ගෝල් රකින්නකු ද හෙට තරගයට සොයා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතාට සිදුව තිබේ.
ශ්‍රී ලංකා නායකයාට අද කණ්ඩායමේ ස්ථානය අහිමි වූයේ කලින් පැවැති තරග දෙකේදී විනිසුරුවන් වෙතින් පිට පිටම දැඩි අවවාද ලබන කහ කාඩ්පත ලැබීමෙනි.

මාලදිවයින් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆ්‍රැන්සිස්කෝ මොරෙයිරෝ මහතා ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයේ නවයක් වන සියලු දෙනාම ඉතාලි ජාතිකයන්වීම කැපී පෙනේ. මාලදිවයින් සංචිතයේ අක්‍රම් අබ්දුල් ගහානි එහි ජ්‍යෙෂ්ඨතම අත්දැකීම් පිරිපුන් ක්‍රීඩකයායි. ඔහු ජාත්‍යන්තර තරග  78කට සහභාගි වී තිබේ. එහෙත් ගෝල මෙතෙක් ලබා ඇත්තේ තුනක් පමණි. ඔහු 35 හැවිරිදිය. මෙතෙක් කණ්ඩායමේ වැඩිම ගෝලලාභියා බවට පත්ව සිටින ඉදිරි පෙළ ක්‍රීඩා කරන අලි ෆසීර්ය. 26 හැවිරිදි ඔහු තරග 36කදී ගෝල නවයක් වාර්තා කර තිබේ.

අද මුණගැසෙන මෙම දෙරට මේ දක්වා ලේඛනගත ජාත්‍යන්තර තරග 16කට සහභාගි වී තිබේ. ඉන් තරග අටකම ජය මාලදිවයින අත්කර ගෙන තිබෙන අතර ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ දෙකකට පමණක් සීමා වී තිබේ. සෙසු තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා - මාලදිවයින් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.