
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයෙදී අද (21 වැනිදා) පැවැතියේ ඕවර 20 ඉනිම දෙකක් පුරා, වරින් වර දෙපිලටම වාසිය දෝලනය වූ තරගයකි. අවසන් ඕවරය ආරම්භ වන විට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 6 කින් ලකුණු 10 ක් අවශ්‍යව තිබිණ. දකුණත් පිතිකාරිණිය, ශශිනි ගිම්හානි, ඒ වන විටත් මුහුණ දී සිටියේ එකම පන්දුවකට පමණි.
ඉතිරිව ඇත්තේ පන්දු 4 කි. ජයග්‍රහණයට ලකුණු 5 ක් ඕනෑකර තිබේ.
වෙන දෙයක් වෙච්චාවේ කියා අඩියක් ඉදිරියට ගත් 17 හැවිරිදි ගිම්හානි, නවසීලන්ත ‘ඒ’ නායිකා ජෙසිකා වට්කින් හමුවේ ගැසූ පහරින් ඉගිළුණු පන්දුව, මිඩ් විකට් කලාපය හරහා, හතරේ සීමාවට ඉහළින් පියාඹා ගියේය. පන්දු 3 ක් ඉතිරිව තිබියදීම, ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමට කඩුලු 3 ක ජයක් අත්විය.
තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී නවසීලන්ත ‘ඒ’ ක්‍රීඩිකාවන් අභිබවමින් ශ්‍රී ලංකා කාන්තාවන් 1-0 ක් ලෙසින් ඉදිරියට පැමිණියේ එලෙසිනි. ශශිනි ගිම්හානි යනු ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා කණ්ඩායමෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට එක්වූ ක්‍රීඩිකාවන් 6 දෙනාගෙන් අයෙකි.
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර පැවැති එක්දින තරග තුනටම වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් අවසන් එක්දින තරගයේදී ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව තරගය ජයගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ 1-0 ක් ලෙසින් එක්දින තරගාවලිය ජයගත්හ. එහෙත් විස්සයි-20 තරගාවලියේදී ඊට කදිම පිළිතුරක් දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 3 කින් තරගය ජයගනිමින් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගත්හ.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළද ඕවර 7 ක් ඇතුළත ලකුණු 41 කට ඔවුන්ගේ කඩුලු 4 ක් බිඳ වැටිණ. එහෙත් පසුව පැමිණි පෲ කැටන් (25) සහ ජෙස් වට්කින්ස් (20) එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට තල්ලු කළහ. සුමුදු නිසංසලා විසින් පන්දු 04 ක් ඇතුළතදී ඔවුන් දෙදෙනාම දවාගැනීම හේතුවෙන් නවසීලන්ත කාන්තාවන් යළිත් වරක් අමාරුවේ වැටිණ.
පසුව එක්වූ හැනා රෝ (නොදැවී 10) සහ පන්දු 27 කින් ලකුණු 35 ක් උදුරාගත් කේට් ගැගිං (නොදැවී 35) සිය කණ්ඩායමෙ ලකුණු සංඛ්‍යාව 129 ක් දක්වා ඉදිරියට ගෙන ගියේ ඕවරයකදී ලකුණු 6.45 ක වේගයක් රඳවා ගනිමිනි.
ශ්‍රී ලංකා කාන්තාවන්ගේත් ආරම්භය අසාර්ථක විය.
ඉදිරිපෙළ පිතිකාරිණියන් අතර විශ්මි ගුණරත්න (27) පමණක් ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත් බැවින් 6 වැනි කඩුල්ලත් බිඳ වැටෙන විට ලකුණු පුවරුවේ සටහන්ව තිබුණේ ලකුණු 79 කි. පියුමි වත්සලා (නොදැවී 21) සහ 19 හැවිරිදි රශ්මිකා සෙව්වන්දි (26) එක්ව ජයටැඹ පෙනෙන මානයට ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියද, ඉහළින් ගැසූ පහරකින් ලැබුණු උඩපන්දුවක් හේතුවෙන් ජය පෙනි පෙනී රශ්මිකා දැවී ගියාය.
අවසන් ඕවරයේදී වත්සලාගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව, තර්ඩ් මෑන් කලාපය හරහා හතරේ සීමාවට ගියේය. ශශිනි ගිම්හානි ගැසූ හයේ පහරින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ටැඹ පසුකළේය.
නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 129 යි
(ටාෂ් වැක්ලින් 15, පෲ කැටන් 25, ජේ.ඒ. වට්කින් 20, හැනා රෝ නොදැවී 10, කේට් ගැගින් නොදැවී 35, චමුදි ප්‍රබෝධා 28/2, සත්‍යා සන්දීපනී 12/2, සචිනි නිසංසලා 12/2)
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම - ඕවර 19.3 කදී කඩුලු 7 ක් දැවී 131 යි
(විශ්මි ගුණරත්න 27, දෙව්මි විහංගා 14, පියුමි වත්සලා නොදැවී 21, රශ්මිකා සෙව්වන්දි 26, හැනා රෝ 22/2, කයිලි නයිට් 27/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.