Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අයර්ලන්තයටත් පරදී

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අයර්ලන්තයටත් පරදී

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇන්ටිගුවාහිදී ඊයේ (8 වැනිදා) පැවැති පෙරහුරු තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 86 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 13.2 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. අයර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ ආරම්භක පිතිකාරිණී ක්ලෙයාර් ශිලිංග්ටන් පන්දු 39 කදී හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 50 ක් රැස්කළාය. 

ගැබී ලෙවිස් (12) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශිලිංග්ටන්, ඉන් නොනැවතී ලෝරා ඩෙලනි (නොදැවී 15) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 41 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් අයර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියාය. 

ලකුණු ලබාගැනීමට පෙරාතුවම අයර්ලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණී සිසිලායා ජෝයිස්ගේ කඩුල්ල බිඳ දැමීමට උදේෂිකා ප්‍රබෝධනී සමත් වූ අතර ගැබී ලෙවිස් පිටියෙන් ඉවත්ව ගියේ ඕෂදී රණසිංහගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 18.2 ක් අවසානයේ ලකුණු 85 කට සීමා කිරීමට ලාරා මාරිට්ස් ප්‍රමුඛ අයර්ලන්ත පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මාරිට්ස් ඕවර 1.2 ක් යවමින් එක් ලකුණුකට කඩුලු 3 ක් දවාගැනීමමට සමත් වූවාය. ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඇයට අනගි සහයක් දුන් සෙලෙස්ටි රාක් ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගත්තාය. 

පිතිකාරිණියන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවීයාම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වූ අතර එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ හසිනි පෙරේරා පන්දු 34 කින් හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක් රැස්කළාය. 

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 85 
(චමරි අතපත්තු 14, හසිනි පෙරේරා 31, ශෂිකලා සිරිවර්ධන 12, ලාරා මාරිස්ට් 01/3, සෙලෙස්ටි රාක් 16/2) 

අයර්ලන්ත කාන්තා පිල - ඕවර 13.2 කදී කඩුලු 2 ක් දැවී 86
(ක්ලෙයාර් ශිලිංග්ටන් නොදැවී 50, ගැබී ලෙවීස් 12, ලෝරා ඩෙලනි නොදැවී 15) 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අයර්ලන්තයටත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.