Last Update  :  2025-11-10 07:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් යාම 14 දා සිට

ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් යාම 14 දා සිට

editorial - 2021 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජූලි 23 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භවන ගිම්හාන ඔලිම්පික් උළෙල (2020) සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටත්වීම් බදාදා (14) ආරම්භ වෙයි.  අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනකු, පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොටස් වශයෙන් අනිද්දා සිට දිවයිනෙන් පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී ගාමිණී ජයසිංහ මහතා හා පරිපාලන නිලධාරීනී හංසිකා ධර්මවර්ධන මහත්මිය බදාදා (14) පළමුවෙන්ම ටෝකියෝ ඔලිම්පික් ගම්මානය බලා පිටත්වන ශ්‍රී ලාංකිකයෝ වෙති. 

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා එහි මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා යන මහත්වරුන් ටෝකියෝ නුවර බලා පිටත්වන්නේ මෙම 19 වැනිදාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් ගණනාවක් මේ වනවිට විදේශගතව සිටින අතර ඔවුන් එම රටවල සිට කෙළින්ම ‘ටෝකියෝ’ නුවර බලා ළඟාවීමට සූදානම්ව සිටින බවද වාර්තා වේ.  ඒ අනුව බැට්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නගේ පුහුණුකරු දිනුක කරුණාරත්න ලන්ඩන් නුවර සිටද, පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ ඇමෙරිකාවේ සිටද, පිහිනුම් ක්‍රීඩිකා අනීකා ගෆූර් බැංකොක් නුවර සිටද, ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන කොසෝවා රාජ්‍යයේ සිට මෙම 17 වැනිදා සිට ටෝකියෝ නුවරට කෙළින්ම ළඟාවීමට නියමිතය.

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි මේ වනවිටත් ජපානයේ නේවාසික පුහුණුවීම් හදාරමින් සිටින බැවින් ඇයට ටෝකියෝ ඔලිම්පික් ගම්මානයට ළඟාවීමට වඩාත් පහසු වී තිබේ.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් මත තේරුණු එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන ස්වීචනයේ පුරවැසිණියක්ද ද වන (ද්විත්ව පුරවැසිලාභිණි) මැටිල්ඩා කාල්සන් සහ සිව්දෙනකුගෙන් යුත් ඇගේ පරිවාර නිලධාරීන් හා කාර්යමණ්ඩල සාමාජිකයන් සමග මෙම 26 වැනිදා ටෝකියෝ නුවරට පැමිණේ.  ශ්‍රී ලංකා තුරඟ තරග ක්‍රීඩිකාවගේ කළමනාකරු ලෙස කටයුතු කරන සුරංජිත් ප්‍රේමදාස මහතාද එදිනම ටෝකියෝ නුවරට ළඟාවීමට සූදානමින් සිටියි.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මෙවර මලල ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයෙකු පමණක් සුදුසුකම් ලබා සිටිති. ඒ අතරින් මීටර 100 ක්‍රීඩක යුපුන් අබේකෝන් ඔහුගේ ඉතාලි ජාතික පෞද්ගලික පුහුණුකරු ක්ල්ඩියෝ ලිසියාඩෙලෝ මහතා සමග මෙම 23 වැනිදා රෝම නගරයේ සිට ටෝකියෝ ඔලිම්පික් ගම්මානයට ළඟාවන බව ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම් දී තිබේ. මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි එදිනම ටෝකියෝ නුවරට ළඟාවෙයි.

ලබන සිකුරාදා (17) බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා තෙහානි එගොඩවෙල, වෛද්‍ය හිමාන් ද සිල්වා හා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වින්ග් කොමදෝරු චන්දන ලියනගේ යන මහත්වරු ටෝකියෝ නුවර බලා පිටත්වෙති.  මෙම 27 වැනිදා දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෝකියෝ නුවර බලා පිටත්ව යන අතර තම ඉසව් අවසන්වීමෙන් පසුව ඔවුන් දින දෙකක් ඇතුළතදී ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් පිටත්විය යුතු බව දැනුම් දී තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හා නිලධාරීන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට පෙර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේද දින හතක නිරෝධායන කාලයක් අනිවාර්ය කර තිබේ. ඒ කොටස් වශයෙනි.


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් යාම 14 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.