Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ලකුණු 64 ක ජයක්
සජීවී විස්තර

ශ්‍රී ලංකාවට ලකුණු 64 ක ජයක්

editorial - 2019 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන කණ්ඩායම පරදවා ලකුණු 64 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙති. එහිදී නුවන් ප්‍රදීප් ලකුණු 21 කට කඩුලු 3 ක්ද, ඉසුරු උදාන ලකුණු 11 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කරති.

පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 15 ක් තුළ බිඳවැටුණ අතර උඩ පන්දු 3 ක් රැකගනිමින් එම කඩුලු 4 න් 3 කටම දායකත්වය සැපයීමට ධනුෂ්ක ගුණතිලක සමත් විය. ඉන් පළමු උඩ පන්දුවට ඔහු රැකගැනීමට සමත් වූයේ වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ අසීෆ් අලී (6) දවාගැනීම සඳහාය.

නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ධනුෂ්ක අතට උඩ පන්දුවක් දෙමින් ෆාහීම් අෂ්රෆ් ලකුණු 8 කට දැවී ගිය අතර ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ ධනුෂ්ක අතට උඩ පන්දුවක් දෙමින් අහොමඞ් අමීර් එක් ලකුණකට දැවී ගියේය. ශදාබ් ඛාන් ලකුණු 6 කට දැවී ගියේ උදානගේ පන්දුවක් හමුවේ අවිෂ්ක ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් දෙමිනි.

...............................................................................................................................................................

පාකිස්තානය අසීරු අඩියක

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹායන පාකිස්තාන කණ්ඩායම ඕවර 15 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 86 ක් ලබා සිටියේය. ඒ වන විට අසීෆ් අලී ලකුණු 6 ක්ද, ෆාහීම් අෂ්රෆ් එක් ලකුණක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

කසුන් රාජිත යැවූ 14 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී උඩ පන්දුවක් රැකගනිමින් ඉමාඞ් වසීම් ලකුණු 7 කට දවාගැනීමට දායක වූ වනිඳු හසරංග, ඉන් පෙර ලකුණු 24 ක් ලබා සිටි නායක සර්ෆරාස් අහමඞ්ගේ කඩුල්ලද බිඳ දැමීමටද සමත් විය.

පන්දු 24 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක් ලබා සාර්ථක ලෙස පන්දුවට පහර දෙමින් සිටි ඉෆ්තිකාර් අහමඞ් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට දසුන් ශානක සහ ඉසුරු උදාන සමත් වූහ. ඉෆ්තිකාර්ගේ දැවී යෑමත් සමග ඔහු සහ සර්ෆරාස් එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ගොඩනැගූ ලකුණු 46 ක සම්බන්ධතාවද නිමාවට පත්විය.

...............................................................................................................................................................

සර්ෆරාස් - ඉෆ්තිකාර් සෙමින් ගමනක

ඕවර 10 ක් නිමාවන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 57 ක් ලබා සිටියේය. ඒ වන විට නායක සර්ෆරාස් අහමඞ් පන්දු 21 කදී ලකුණු 14 ක්ද, ඉෆ්තිකාර් අහමඞ් පන්දු 19 කදී ලකුණු 22 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

දෙවැනි ඕවර 5 තුළදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කඩුලු දවාගැනීමට අවස්ථාවක් නොදෙමින් ලකුණු 31 ක් රැස්කිරීමට සර්ෆරාස් සහ ඉෆ්තිකාර් සමත් වූහ. ඕවර 10 නිමාවට විට ඔවුන් දෙදෙනා එක්ව පාකිස්තාන ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ගොඩනගා තිබූ නොබිඳුන සම්බන්ධතාව ලකුණු 35 කි.

...............................................................................................................................................................

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වැඩ අල්ලති

මුල් ඕවර 5 අවසන් වන විට ලකුණු 26 කට කඩුලු 3 ක් බිඳවැටී පාකිස්තාන කණ්ඩායම ඉතාමත් අසීරු තත්වයකට පත්ව සිටියේය. ඒ වන විට නායක සර්ෆරාස් අහමඞ් ලකුණු 3 ක්ද, ඉෆ්තිකාර් අහමඞ් ලකුණු 4 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

දෙවැනි ඕවරය යැවීම සඳහා කැඳවූ නුවන් ප්‍රදීප් එහි පස්වැනි සහ අවසන් පන්දුවලදී බාබර් අසාම් සහ උමාර් අක්මාල් දවාගනිමින් පාකිස්තාන මුල් පෙළ සුනුවිසුණු කළේය. කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුකගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ අසාම්ගේ ඉනිම ලකුණු 13 කට සීමා වූ අතර මුහුණදුන් පළමු පන්දුවේදීම අක්මාල් ලකුණු නොළබා දැවී ගියේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.

පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස අහමඞ් ශේෂාඞ් ලකුණු 4 කට දවාගැනීමට ඉසුරු උදාන සමත් විය. පිට ඉන්නෙන් ඉවතට දෝලනය වූ පන්දුව, පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල තුළට ඇදී ඒම නිසා ශේෂාඞ්ට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

...............................................................................................................................................................

පාකිස්තානයට ලකුණු 166 ක ඉලක්කයක්

ඕවර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා ඉනිම නිමාවන විට කඩුල්ලේ රැදී සිටි වනිඳු හසරංග පන්දු 6 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 7 ක්ද, ඉසුරු උදාන නොදැවී ලකුණු 5 ක්ද ලබා සිටියහ.

ශ්‍රී ලංකා ඉනිමේ 18 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකදී නායක දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය පිටියෙන් ඉවත් කිරීමට මොහොමඞ් හස්නයින් සමත් විය. එහිදී උමාර් අක්මාල් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් ලකුණු 17 කද, අහමඞ් ශේෂාඞ් අතට උඩ පන්දුවක් දෙමින් ෂෙහාන් ලකුණු 2 කටද දැවී ගියහ.

එම කඩුලු 2 ත් සමග මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට මොහොමඞ් හස්නයින් සමත් වූයේ ඔහු මින් පෙර යැවූ ඕවරයේ අවසන් පන්දුවටද කඩුල්ලක් දවාගැනීමට සමත්ව සිටි බැවිනි. දැවී යෑමට පෙර ෆාහීම් අෂ්රෆ්ගේ තෙවැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකට හයේ පහර දෙකක් එල්ල කිරීමටද දසුන් සමත් විය.

සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගි වූ භානුක රාජපක්ෂ පන්දු 22 කදී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. මොහොමඞ් හස්නයින්ගේ යෝකර් පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 135 ක් ලෙස සටහන් වී තිබිණ.

...............................................................................................................................................................

අවිෂ්ක ලකුණු 33 කට දැවී යයි

ඕවර 15 ක් නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 126 ක් ලබා සිටියේය. ඒ වන විට කඩුල්ලේ රැදී සිටි භානුක රාජපක්ෂ පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක් ලබා සිටි අතර අනෙක් පිතිකරුවා වූ දසුන් ශානක ලකුණු ලබාගැනීම අරඹා සිටියේ නැත.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 33 ක් ලබා සිටි අවිෂ්ක ප්‍රනාන්දු දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ශදාබ් ඛාන් සමත් විය. දැවී යන විට පන්දු 34 කට මුහුණදී සිටි අවිෂ්කගේ ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ගත වී තිබිණ.

11 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී අවිෂ්ක ප්‍රනාන්දු කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීම සඳහා විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය භාවිතා කිරීමට පාකිස්තාන නායක සර්ෆරාස් අහමඞ් පියවර ගත්තද තෙවැනි විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

...............................................................................................................................................................

ධනුෂ්ක ලකුණු 57 කට දැවී යයි

ඕවර 10 ක් නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 84 ක් ලබා සිටියේය. ඒ වන විට කඩුල්ලේ රැදී සිටි අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 20 කදී හතරේ පහරක් සමග ලකුණු 16 ක් ලබා සිටි අතර අනෙක් පිතිකරුවා වූ භානුක රාජපක්ෂ ලකුණු ලබාගැනීම අරඹා සිටියේ නැත.

පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් සිය දෙවැනි විස්සයි20 අර්ධ ශතකය සම්පූර්ණ කළ ධනුෂ්ක ගුණතිලක (57) ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කරමිනි.

දැවී යෑමට පෙර ශදාබ් ඛාන් යැවූ පළමු ඕවරයේදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 14 ක් රැස්කිරීමටද ධනුෂ්ක සමත් විය.

...............................................................................................................................................................

ධනුෂ්ක - අවිෂ්ක සාර්ථක සම්බන්ධයක

පළමු ඕවර 5 අවසන් වන විට වේගවත් පිතිහරඹයක නිතර වෙමින් සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය, පාකිස්තාන පන්දු යවන්නන්ට කඩුල්ලක් දවාගැනීමට ඉඩක් ලබා නොදෙමින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත් විය.

මුල් ඕවර 5 තුළදී ධනුෂ්ක ගුණතිලක පන්දු 20 කින් හතරේ පහර 5 ක් සමග ලකුණු 29 ක්ද, අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 10 කින් හතරේ පහරක් සමග ලකුණු 10 ක්ද රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ධනුෂ්කගේ සහ අවිෂ්කගේ මෙම සම්බන්ධතාව 2019 වසර තුළදී මේ දක්වා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් ගොඩනැගූ හොඳම සම්බන්ධතාව ලෙසද සටහන් විය.

...............................................................................................................................................................

පාකිස්තානය පන්දු යැවීම තෝරාගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆරාස් අහමඞ් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

මෙම තරගයේදී කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක සහ මුල් පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර වරම් දිනාගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම
දසුන් ශානක (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, භානුක රත්නායක, මිනෝද් භානුක, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, කසුන් රාජිත සහ නුවන් ප්‍රදීප්

පාකිස්තාන කණ්ඩායම
සර්ෆරාස් අහමඞ් (නායක), අහමඞ් ශේෂාඞ්, බාබර් අසාම්, උමාර් අක්මාල්, අසීෆ් අලී, ඉෆ්තිකාර් අහමඞ්, ෆාහීම් අෂ්රෆ්, ඉමාඩඞ් වසීම්, ශඩාබ් ඛාන්, මොහොමඞ් අමීර් සහ මොහොමඞ් හස්නයින්


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 64 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.