Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේගවත්ම ක්‍රීඩකයා - සෙවිලි : ක්‍රීඩිකාව මෙලීසා
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය

වේගවත්ම ක්‍රීඩකයා - සෙවිලි : ක්‍රීඩිකාව මෙලීසා

editorial - 2025 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති 2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි රන් පදක්කම දිනාගනිමින් ජැමෙයිකාවේ ඔබ්ලික් සෙවිලි සහ මීටර් 100 කාන්තා රන් පදක්කම දිනාගනිමින් ඇමරිකාවේ මෙලීසා ජෙෆර්සන් වුඩන් පිළිවෙළින් ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත්වූහ. 

අද (14 වැනිදා) පස්වරුවේ පැවැති මීටර් 100 පිරිමි අවසන් මහ තරගයට සෙවිලිට අමතරව කිෂේන් තොම්සන් (ජැමෙයිකාව), නොවා ලයිල්ස් (ඇමෙරිකාව), කෙනෙත් බෙඩ්නරක් (ඇමෙරිකාව), ගිෆ්ට් ලියොට්ලේලා (දකුණු අප්‍රිකාව), කයින්සෝලා අජයි (නයිජීරියාව), අකානි සිම්බයින් (දකුණු අප්‍රිකාව) සහ ලෙට්සිල් ටෙබෝගෝ (බොට්ස්වානා) යන ලොව වේගවත්ම ක්‍රීඩකයෝ සහභාගි වූහ. 

කෙසේ වුවත් වැරදි තරග ආරම්භයක් හේතුවෙන් බොට්ස්වානා ක්‍රීඩක ලෙට්සිල් ටෙබෝගෝට තරගයෙන් ඉවත් වීමට සිදුවූ අතර සෙසු ක්‍රීඩකයන් 7 දෙනා අතර අවසානය දක්වාම කරට කර තරගයක් දක්නට ලැබිණ. එහිදී මුල් මීටර් 90 දක්වාම දෙවැනි ස්ථානයේ සිටි ඔබ්ලික් සෙවිලි අවසන් මීටර් 10 තුළදී සිය කණ්ඩායම් සගයා වූ කිෂේන් තොම්සන් පසුකර යමින් රන් පදක්කම දිනා ගත්තේය. මෙය සෙවිලිගේ පළමු ලෝක ශූරතා මලල ක්‍රීඩා රන් පදක්කම විය. 

තරගය නිමා කිරීම සඳහා සෙවිලිට තත්පර 9.77 ක කාලයක් ගත වූ අතර එය මීටර් 100 ඉසව්ව සඳහා ඔහුගේ හොඳම පුද්ගලික දක්ෂතාවද විය. සෙවිලිට පසුපසින් තරගය නිමා කළ තොම්සන් තත්පර 9.82 ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කමට හිමිකම් කී අතර තත්පර 9.89 ක කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට පත්වූ ඇමරිකාවේ නෝවා ලයිල්ස්ට ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 

මූලික වටයේ පළමු තරගයේදී තත්පර 9.93 ක කාලයක් වාර්තා කරමින් එහි තෙවැනියා ලෙස අවසන් පූර්ව වටයට පිවිසි සෙවිලි, අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ තත්පර 9.86 ක කාලයක් වාර්තා කරමින් තෙවැනි අවසන් පූර්ව තරගයේ පළමු වැනියා බවට පත්වෙමිනි. කෙසේ වුවත් ඔහුට මෙම තරගාවලිය පුරා උසේන් බෝල්ට්ගේ (තත්පර 9.58) මීටර් 100 ලෝක වාර්තාවට ලඟා වීමට හෝ නොහැකි විය. 

මේ අතර මීටර් 100 කාන්තා අවසන් මහ තරගයේදී තත්පර 10.61 ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ ලෝක ශූරතාවලි වාර්තාව බිඳ දැමීමට ඇමරිකාවේ මෙලීසා ජෙෆර්සන් වුඩන් සමත් වූවාය. ඇයට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 10.65 ක කාලයක් වාර්තා කර තිබූ ඇමරිකාවේම ක්‍රීඩිකාවක වන ශා’කැරී රිචඩ්සන් විසිනි.

මෙවර මීටර් 100 රන් පදක්කම දිනාගැනීමට මෙලීසා සමත් වූයේ ජැමෙයිකාවේ ටීනා ක්ලේටන් (තත්පර 10.76) සහ ශාන්ත ලුසියාහි ජූලියන් ඇල්ෆ්‍රෙඩ් (තත්පර 10.84) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද දමමිනි. මෙම ඉසව්වේ ප්‍රභල ක්‍රීඩිකාවන් වන ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රෙසර්, ඇමරිකාවේ ශා’කැරී රිචඩ්සන් සහ ජැමෙයිකාවේ ෂොරිකා ජැක්සන්ද අවසන් තරගයේදී මෙලීසා හමුවේ පරාජයට පත්වීම කැපී පෙණුන සිදුවීමක් විය. 

ෂෙලී ඈන් ෆ්‍රෙසර් ඔලිම්පික් රන් පදක්කම් 3 කට සහ ලෝක ශූරතා මලල ක්‍රීඩා රන් පදක්කම් 10 කට හිමිකම් කියන අතර ෂොරිකා ජැක්සන් ඔලිම්පික් රන් පදක්කමකට සහ ලෝක ශූරතා මලල ක්‍රීඩා රන් පදක්කම් 4 කටද, ශා’කැරී ඔලිම්පික් රන් පදක්කමකට සහ ලෝක ශූරතා මලල ක්‍රීඩා රන් පදක්කම් 2 කටද හිමිකම් කියන ක්‍රීඩිකාවෝ වෙති. ඔලිම්පික් රන් පදක්කමකටද හිමිකම් කියන මෙලිසාගේ තෙවැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා රන් පදක්කම මෙය විය. 

- 036 


අදහස් (0)

වේගවත්ම ක්‍රීඩකයා - සෙවිලි : ක්‍රීඩිකාව මෙලීසා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.