Last Update  :  2025-08-17 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විලියම්සන් - බෝල්ට් විවේක ගන්වති

විලියම්සන් - බෝල්ට් විවේක ගන්වති

editorial - 2019 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක කේන් විලියම්සන් සහ ප්‍රධානතම වේග පන්දුයවන්නා වන ට්‍රෙන්ට් බෝල්ට් විවේක ගැන්වීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
 
ඒ අනුව එම තරග තුනේදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ප්‍රවීන වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිට පැවරී තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එක් තරගයකට පමණක් ක්‍රීඩා කළ සවුති, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති පළමු ටෙස්ට් තරගයේදී යළිත් නවසීලන්ත කණ්ඩායමේ අවසන් 11 දෙනාට ඇතුළත් විය.

“විලියම්සන් සහ බෝල්ට් ලෝක කුසලාන තරගාවලියේදී අපේ කණ්ඩායම වෙනුවෙන් අගනා සේවයක් ඉටුකළා. දිගින් දිගටම ක්‍රීඩා කිරීම නිසා ඔවුන් වෙහෙසට පත්වෙලයි ඉන්නේ. ඒ නිසා ඔවුන්ට විවේකයක් ලබා දෙන්න හොඳම වේලාව මෙයයි කියා අපි හිතනවා.” යැයි නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුවේ නියෝජිත ගැවින් ලාසෙන් මහතා පැවසීය.

ටොඞ් ඇස්ටල්, ඉෂ් සෝධි සහ මිචෙල් සෑන්ට්නර් නවසීලන්ත විස්සයි20 සංචිතයට ඇතුළත්ව සිටින දඟ පන්දු යවන්නන් තිදෙනා වන අතර මේ වසර මුලදී ආබාධයකට ලක්වූ කඩුලු රකින ක්‍රීඩක ටිම් සෙයිෆර්ට්ද යළිත් නවසීලන්ත සංචිතයට ඇතුළත්ව සිටියි.
 
වසර මුලදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලියෙන් අනතුරුව කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවූ වේග පන්දුයවන ක්‍රීඩක ඩග් බ්‍රාස්වෙල් මෙන්ම 2018 වසරේ පෙබරවාරි මාසයේදී අවසන් වරට විස්සයි20 ජාත්‍යන්තර තරගයකට සහභාගි වී ඇති ඉදිරිපෙළ පිතිකරු ටොම් බෘස්ද මෙම තරගාවලියේදී නවසීලන්ත සංචිතයට කැඳවා සිටිති.

නවසීලන්ත විස්සයි20 සංචිතය
ටිම් සවුති (නායක), ටොඞ් ඇස්ටල්, ටොම් බෘස්, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම්, ලොකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, ස්කොට් කගීලීජන්, ඩැරල් මිචෙල්, කොලින් මුන්රෝ, සෙත් රේන්ස්, මිචෙල් සෑන්ට්නර්, ටිම් සෙයිෆර්ට්, ඉෂ් සෝධි සහ රොස් ටේලර්

-036

 


අදහස් (0)

විලියම්සන් - බෝල්ට් විවේක ගන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.