Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වැඬේ අමාරු වුණත් අපි සූදානම් - ප‍්‍රසන්න

වැඬේ අමාරු වුණත් අපි සූදානම් - ප‍්‍රසන්න

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

 

එක්දින තරගාවලියේදී ලද 3-2 ක තරගාවලි පරාජයෙන් පසුව ටෙස්ට් තරගාවලියේදී තමන්ට එංගලන්ත කණ්ඩායමෙන් බුරුළක් නොලැබෙන බව ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ කඩුලූ රකින්නා වන ප‍්‍රසන්න ජයවර්ධන පවසයි.

”එක්දින තරගාවලිය පරාජය වී සිටින නිසා ඔවුන් අපට කිසිම බුරුළක් දෙන එකක් නෑ. අපි ඒක දන්නවා වගේම ඒ තත්ත්වය බලාපොරොත්තුවයි ඉන්නේ....අපි ඒකට සූදානම්” යයි වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ අංක 1 කඩුලූ රකින්නා බවට පත්ව සිටින ප‍්‍රසන්න ජයවර්ධන, නොදම්ප්ටන්ෂයර් ප‍්‍රාන්ත පිලට එරෙහිව පැවැත්වෙන පුුහුණු තරගය අතරතුරදී පැවසීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මෙවර එංගලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගය ලබන බ‍්‍රහස්පතින්දා (12 වැනිදා) ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය ලීඞ්ස් නුවර හෙඩිංග්ලි කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම වසර 1998 දී සහ වසර 2006 දී එංගලන්තයේදී ටෙස්ට් තරගයක් බැගින් ජයගෙන ඇති නමුත් තවමත් ටෙස්ට් තරගාවලියකින් ජයගෙන නැත. 1998 තරගාවලියට අයත් වූයේ එකම ටෙස්ට් තරගයක් පමණි.

අවසන් වරට (2011 දී) එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලිය තරග 3 කින් සමන්විත වුවද එහිදී පළමු තරගය පරාජවූ ශී‍්‍ර ලංකා පිල දෙවැනි සහ තුන්වැනි තරග දෙකම ජය පරාජයකින් තොරව අවසන් කරගත්තේය. එහිදී කාඞීෆ්හිදී පැවැති ටෙස්ට් තරගය පරාජය වූ නමුත් එම තරගයේදී ශී‍්‍ර ලංකා පිල ලබාගත් ලකුණු 400 ගණනින් ලකුණු 112 ක් ලබාගැනීමට ප‍්‍රසන්න ජයවර්ධන සමත් විය.

මේ වන විට 34 වැනි වියේ සිටින ප‍්‍රසන්න ජයවර්ධන ටෙස්ට් තරග 55 කට කී‍්‍රඩා කර තිබේ.

එංගලන්තයේ තිබෙන කී‍්‍රඩාංගණ සහ දේශගුණික තත්ත්වයන් ශී‍්‍ර ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවල කී‍්‍රඩාංගණ සහ දේශගුණික තත්ත්වයන්ට හාත්පසින්ම වෙනස් වන බැවින් එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගැනීම තම කණ්ඩායමට ඉතාමත් වැදගත් බව ප‍්‍රසන්න ජයවර්ධන පවසයි.

”මේ තරගාවලිය ජයගන්න අපි සේරටම  ඕනෑ”

” මා හිතන්නේ මේ පාර ඒ සඳහා අපට හොඳ අවස්ථාවක් තියෙනවා...අප එක්දින තරගාවලියේ සාර්ථක වෙලා ඉන්න හින්දා කණ්ඩායමේ චිත්තධෛර්යය ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නේ” යයි පැවසූ ප‍්‍රසන්න ජයවර්ධන....
”ඒත් ඒක අපේ කලාපයේදී වගේ ලේසි පාසු වැඩක් නෙමෙයි...මෙහි තියෙන කී‍්‍රඩාංගණ සහ දේශගුණික තත්ත්වයන්ට අප හැඩ ගැසෙන්න  ඕනෑ. ඒ විතරක් නෙමේ, පන්දු යැවීමේදීත්, පන්දුවට පහර දීමේදීත්,  අපේ තාක්‍ෂණයත් ඊට අනුරූප වෙන විදිහට වෙනස් කරගන්න  ඕනෑ” යයිද පැවසීය.

වත්මන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ ප‍්‍රබලතම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් පාදයේ ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට සහභාගි නොවන අතර ඔහු වෙනුවෙන් කණ්ඩායමට එක්වූ කිහිප දෙනකුටම නොදම්ප්ටන්ෂයර් තරගය හොඳ පෙරහුරුවක් විය.

ඔවුන් අතර සිටි නුවන් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු සිකුරාදා (6 වැනිදා) ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිතර වූ අතර ඔහු පන්දු  ඕවර 8 කදී ලකුණු 30 කට දවාගත්තේ කඩුල්ලක් පමණක් වුවත් ඔහුගේ පන්දු යැවීම තුළ මනා වේගයක් මෙන්ම දෝලනයක්ද දැකගත හැකිවිය. ඔහු එම දස්කම් පළකළේ පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තණතීරුවකදී වීම සැලකිල්ලට ගත යුත්තකි.

ප‍්‍රසන්න ජයවර්ධන කඩුලූ රකින්නකු වන හෙයින්  ඕනෑම පන්දු යවන්නකුගේ තත්ත්වය ඉතාමත් හොඳින් නිරීක්‍ෂණය කළ හැකිය. ඔහු විශ්වාස කරන්නේ වෙනත් වසර වලදීට වඩා මේ වසරේදී එංගලන්ත සංචාරයට එක්ව සිටින වේග පන්දු යවන්නන් පවතින තත්ත්වයන් ප‍්‍රයෝජනයට ගනිමින් එංගලන්තයට තර්ජනයක් දිය හැකි මට්ටමේ සිටින බවයි.  

”මේ අවස්ථාවේදී අපට ලක්මාල් නැතිවීම දැරිය නොහැකි පාඩුවක්. ඒත් අපේ වේග පන්දු යවන්නන් පසුගිය සිකුරාදා, මේ තණතීරුවේදී ඉතාමත් විශිෂ්ට දස්කම් දැක්වූ බව  ඕනෑ කෙනෙකුට දැකගන්න පුළුවන්කම තිබුණා”

”මා හිතන්නේ අපට ඉතාමත් හොඳ වේග පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා. ඒ නිසා මෙවර තරගාවලියේදී අපට වෙනදාට වඩා හොඳින් කී‍්‍රඩා කරන්න පුළුවන් කියා මා හිතනවා” යයිද ශී‍්‍ර ලංකා ටෙස්ට් කඩුලූ රකින්නා පැවසීය.
 
නොදම්ප්ටන්ෂයර් තරගයේදී ජයවර්ධන ලබාගත්තේ ලකුණු 25 ක් වුවද ඔහු එය කිසිදු අපහසුවකින් තොරව ලබාගත් අතර පිතිකරුවකු වශයෙන් ලකුණු අතර සිටින බවද පෙනෙන්නට තිබිණ. එම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 8 කට ලකුණු 558 ක් ලබා පන්දුවට පහර දීම අත්හිටුවීය.

 


අදහස් (4)

වැඬේ අමාරු වුණත් අපි සූදානම් - ප‍්‍රසන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.