Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳු තවත් පියවරක් ඉදිරියට

වනිඳු තවත් පියවරක් ඉදිරියට

editorial - 2021 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථනයට පත්වීමට පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී ඇත. තවමත් 23 වැනි වියේ පසුවන වනිඳු, මේ දක්වා ජාත්‍යන්තර ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමක හිමිකරගත් ඉහළම ස්ථානය ලෙස මෙය සටහන් වේ.

මේ මස 21 වැනිදා විස්සයි20 පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි වනිඳු, එතැන් පටන් සතියක් ගතවන විට එහි දෙවැනි ස්ථානය දක්වා උසස්වීම් ලබා ඇත. එම සතිය තුළදී වනිඳු සහභාගි වූයේ එක් විස්සයි20 තරගයකට පමණක් වන අතර ඉන්දියාවට එරෙහිව පැවැති එම තරගයේදී ඔහු ලකුණු 28 කට කඩුලු 2 ක් බිඳහෙළීය.  

මේ දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 20 කට ක්‍රීඩා කර ඇති වනිඳු එහිදී කඩුලු 28 ක් දවාගැනීමට සමත්ව ඇත්තේ 15.64 ක සාමාන්‍යක් රඳවා ගනිමිනි. විස්සයි20 තරග 4 කදී කඩුලු 3 බැගින් දවාගෙන ඇති ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ මෙම වසරේ මාර්තු මස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 12 කට කඩුලු 3 ක් දවාගැනීමය.

විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 12 තුළ රැදී සිටින පන්දු යවන්නන් අතරින් 10 දෙනෙක්ම දඟ පන්දු යවන්නන් වන අතර ඔවුන් අතරින් 8 දෙනෙක්ම පා දඟ පන්දු යවන්නන් සහ වමත් දඟ පන්දු යවන්නන් වීමද කැපී පෙනේ. ඉන් පළමු, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගෙන සිටිනේ පා දඟ පන්දු යවන්නන් වීම, ඔවුන් විස්සයි20 පිටිය ආක්‍රමණය කර ඇති බවට මනාව පැහැදිලි කරයි.  

දකුණු අප්‍රිකාවේ තබ්‍රේස් ශම්සි ප්‍රසාද ලකුණු 792 ක් ලබා විස්සයි20 පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටියි. රෂීඩ් ඛාන් (ඇෆ්ඝනිස්තානය), ආදිල් රෂීඩ් (එංගලන්තය) සහ මුජිබුර් රහමන් (ඇෆ්ඝනිස්තානය) පිළිවෙලින් තෙවැනි, සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන එම ලැයිස්තුවේ වනිඳුට පසුපසින් රැදී සිටිති.

කෙසේ වුවත් දෙවැනි ස්ථානයේ පසුවන වනිඳු (ප්‍රසාද ලකුණු 720) සහ තෙවැනි ස්ථානයේ පසුවන රෂීඩ් ඛාන් (ප්‍රසාද ලකුණු 719) අත‍ර ඇත්තේ එක් ප්‍රසාද ලකුණක පරතරයකි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි20 තරගාවලියේ තවත් තරග 2 ක් අද (28 වැනිදා) සහ හෙට (29 වැනිදා) පැවැත්වෙන බැවින් එහිදී දක්වන දස්කම් අනුව තමා සහ රෂීඩ් අතර පවතින පරතරය වැඩි කර ගැනීමට වනිඳුට අවස්ථාව ඇත.  

-036


අදහස් (0)

වනිඳු තවත් පියවරක් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.