Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලොකුහෙට්ටිගේට වසර 8 ක ක්‍රිකට් තහනමක්

ලොකුහෙට්ටිගේට වසර 8 ක ක්‍රිකට් තහනමක්

editorial - 2021 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------
දමින්ද විජේසූරිය
------------------

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන දිල්හාර ලොකුහෙට්ටිගේට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් වසර 8 ක තහනමක් පනවනු ලැබ තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නීති සංග්‍රහය කඩකිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇති ලොකුහෙට්ටිගේට වසර 8 ක් යනතුරු කිසිම ආකාරයේ ක්‍රිකට් තරගයකට හෝ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වෙනත් කටයුත්තකට සහභාගි විය නොහැකිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින අන්තර්ජාතික තරග 9 කට සහ විස්සයි-20 තරග 2 කට ක්‍රීඩා කර ඇති දිල්හාර ලොකුහෙට්ටිගේ වේග පන්දු යවන්නකු මෙන්ම වේගයෙන් ලකුණු ලබාගත හැකි පිතිකරුවෙකි. එහෙත් ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2013 දී ඉන්දියාවට එරෙහිවය.

ඔහුගේ වසර 8 ක තහනම 2019 අප්‍රේල් 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පසුදාතමක් යොදා තිබේ.  ඔහුගේ මූලික තහනම ක්‍රියාත්මක වූයේ 2019 අප්‍රේල් 3 වැනිදා සිටය.

දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් චෝදනා ගොනුකරන ලද්දේ 2019 මාර්තු මාසයේදීය. එයින් මාස පහකට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්ද තරග පාවාදීම සම්බන්ධයෙන් ලොකුහෙට්ටිගේට චෝදනා ගොනු කරන ලදි.  එම චෝදනාවල ප්‍රතිඵලයක් ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලොකුහෙට්ටිගේට 2019 අප්‍රේල් 3 වැනිදා සිට ක්‍රියාත්මහක වන පරිදි තාවකාලික තරග තහනමක් පනවන ලදි. මේ වන විට වසර 8 ක කාලයක් සඳහා තහවුරු කර ඇත්තේ එම තරග තහනමයි.

“අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති දිල්හාර, දූෂණ විරෝධී අධ්‍යාපන සැසිවාර ගණනාවකට සහභාගී වී ඇති අතර ඔහුගේ ක්‍රියා කලාපය, දූෂණ මර්ධන නීති සංග්‍රහය උල්ලංඝණය කිරීමක් බව ඔහු දැනසිට ඇත” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

“ඔහුට පනවන ලද සම්බාධකවල බරපතලකමින් පිළිබිඹු කරන්නේ ඔහු කළ වැරදිවල බරපතළකමයි. ඒ වගේම ඔහු දිගින් දිගටම අපට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමයි.” යයි සඳහන් කරන ඇලෙක්ස් මාෂල් මහතා...  “ඕනෑම ආකාරයක දූෂණයකට සම්බන්ධ වන ඕනෑම කෙනෙකුට එය වළක්වා ගත හැකියි” යයිද සිය නිවේදනයේ සටහන් කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් දූෂණ වැළැක්වීමේ විනිශ්චය සභාව විසින් කරන ලද පරීක්‍ෂණ අනුව ලොකුහෙට්ටිගේ දූෂණ මර්ධන විනය පද්ධතියේ වගන්ති 3 ක් කඩකිරීම සම්බන්ධයෙන් වරදකරු වී තිබේ.


දිල්හාර ලොකුහෙට්ටිගේ වරදකරු වීමට අදාළ වගන්ති

■ 2.1.1 වන වගන්තිය
තරඟයක ප්‍රතිඵලය, ප්‍රගතිය, පැවැත්ම හෝ වෙනත් අංශ නුසුදුසු ලෙස වෙනස් කිරීමට හෝ සැලසුම් කිරීමට නැතහොත් වෙනත් ආකාරයකින් බලපෑම් කිරීම සඳහා ගිවිසුමකට හෝ උත්සාහයකට සම්මාදම් වීම.

■ 2.1.4 වගන්තිය
2.1. වගන්තිය උල්ලංඝණය කිරීම සඳහා ඕනෑම ක්‍රීඩකයකුගෙන් සෘජුව හෝ වක්‍රව ඉල්ලීම, පෙළඹවීම, පොළඹවාගැනීම, උපදෙස් දීම, ඒත්තු ගැන්වීම, දිරිගැන්වීම හෝ හිතාමතාම පහසුකම් සැපයීම.

■ 2.4.4 වන වගන්තිය
දූෂණ මර්ධන විනය නීති පද්ධතියට පටහැණිව, දූෂිත කටයුතු වල යෙදීමට ලැබුණු ඕනෑම ප්‍රවේශයක් හෝ ආරාධනා පිළිබඳ සම්පූර්ණ තොරතුරු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය වෙත හෙළි කිරීමට අපොහොසත් වීම.

ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් වැරදිකරුවා වූ සිව්වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා දිල්හාර ලොකුහෙට්ටිගේය. ඔහුට පෙර ජයනන්ද වර්ණවීර, නුවන් සොයිසා සහ සනත් ජයසූරිය ක්‍රිකට් දූෂණ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවෝ වූහ.

සනත් ජයසූරියගේ වසර දෙකක ක්‍රිකට් තහනම මේ වන විට ගෙවී අවසන් වී ඇතත්, නුවන් සොයිසා සහ ජයනන්ද වර්ණවීර තවමත් තහනමට ලක්ව සිටිති.

 

 


අදහස් (0)

ලොකුහෙට්ටිගේට වසර 8 ක ක්‍රිකට් තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.