Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රොඩ්නි මාෂ් සමුගනී

රොඩ්නි මාෂ් සමුගනී

editorial - 2022 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රොඩ්නි මාෂ් ෂේන් වෝන් සමග....

ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ සිටි විශිෂ්ටතම කඩුලු රකින්නකු වූ රොඩ්නි මාෂ් මහතා අද (04 වැනිදා) සිය දිවිසැරිය නිම කළේය. දින කිහිපයකට ඉහතදී, හදිසි හෘදයාබාධයකට ලක්වූ රොඩ්නි මාෂ් මහතා, 1970 සිට 1984 දක්වා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 96  කට සහභාගි වී තිබිණ.

මියයන විට මාෂ් මහතා 74 වැනි වියේ පසුවූයේය.

1984 දී රොඩ්නි මාෂ් සහ ඩෙනිස් ලිලී දෙදෙනාම විශ්‍රාම ගන්නා විට ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව ඩෙනිස් ලිලී (කඩුලු 355) සතුවද, ටෙස්ට් කඩුලු රකින්නකුගේ වැඩිම දවගැනීම් සංඛ්‍යාවේ ලෝක වාර්තාව (දවාගැනීම් 355 ) රොඩ්නි මාෂ් සතුවද තිබිණ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ටෙස්ට් ලකුණු පුවරුවක “ඇ.මාෂ් ප.ලිලී” යන්න සුලභ දසුනක් විය. ඩෙනිස් ලිලිගේ ලෝක වාර්තාගත ටෙස්ට් කඩුලු 355 න් 95 කට රොඩ්නි මාෂ් දායක වී තිබිණ. එලෙසින්ම රොඩ්නි මාෂ්ගේ දවාගැනීම් සංඛ්‍යාවද 355 කි.

1972 දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක් ලබාගත් පළමුවැනි කඩුලු රකින්නා වූ මාෂ්, ටෙස්ට් ලකුණු 3633 ක හිමිකරුවකු වන අතර ටෙස්ට් ශතක 3 ක් ඔහුගෙන් වාර්තා විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ප්‍රවීණ නායකයකු වූ ග්‍රෙග් චැපල් මහතා කීවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් රොඩ්නි මාෂ්ගේ දායකත්වය කඩුලු රැකීමෙන් සහ ලකුණු රැස්කිරීමෙන් බොහෝ ඈතට ගිය දෙයක් බවයි.

“රොඩ් තමයි කණ්ඩායමේ ධෛර්යය ඉහළ නැංවූ පුරෝගාමියා. එයා කණ්ඩායම වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම කළා. අපි සෑම කෙනෙකුටම වඩා ජයග්‍රහණයට කෑදර වූ තැනැත්තා ඔහුයි... පරාජය ඔහුට පෙන්නන්න බෑ”

“මොනවා හරි දෙයක් කියන්න තියනවා නම්, එයා තමයි ඒක කියන්නේ... එයා කියපු දේක ආයේ සැක සංකා තියාගන්න දෙයක් තිබුණේ නෑ... බොහෝ වේලාවට ඔහු ඉතාම නිවැරදියි” යයිද ග්‍රෙග් චැපල් මහතා පැවසීය.

ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව වසර 11 ක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විද්‍යායතනයේ ප්‍රධානියා වූ රොඩ්නි මාෂ් මහතා පසුව එංගලන්තයේ මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් දියුණු කිරීමේ අංශ බාරගත්තේය.

වසර 2014 -2016 කාලයේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වූයේද රොඩ්නි මාෂ් මහතාය.


- 213

 


අදහස් (0)

රොඩ්නි මාෂ් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.