Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුනිචෙලා කී‍්‍රඩා සමාජය ජාතික ශූරතාව දිනයි

යුනිචෙලා කී‍්‍රඩා සමාජය ජාතික ශූරතාව දිනයි

ශනුක අරවින්ද - 2015 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිව්වැනි වරටත් පැවැති ජාතික කඩු හරඹ ශුරතාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට යුනිචෙලා කී‍්‍රඩා සමාජය සමත්විය. රන් පදක්කම් 3 ක්, රිදී පදක්මක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගනිමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ. මෙම ශූරතාවලිය ඊයේ (12 වැනිදා) පන්නල මාස් ස්ලිම්ලයින් ආයතනයේදී පැවැත්විණ.

මින් පෙර පිට පිටම තෙවරක් ජාතික කඩු හරඹ ශූරතාවලියේ අනුශූරතාවට හිමිකම් කියා තිබෙන යුනිචෙලා කී‍්‍රඩා සමාජය, එහි ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

ඉකුත් වසර තුනේදීම ජාතික කඩු හරඹ ශූරතාව තමන් සතුකරගෙන සිටි ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයට මෙවර තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. එහිදී ඔවුහු රන් පදක්කම් 2 කට, රිදී පදක්කම් 3 කට සහ ලෝකඩ පදක්කම් 2 කට හිමිකම් කීහ.

රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගත් එම්. ඞී. එස්. කී‍්‍රඩා සමාජය තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්විය.

දෙපිට මුවහත් අසිපත් (සේබර්) කාණ්ඩයේ (පිරිමි) රන් පදක්කම දිනාගත් යුනිචෙලා කී‍්‍රඩා සමාජයේ මංජුල ප‍්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම කඩු හරඹ ක‍්‍රීඩකයා ලෙසත්, සැහැල්ලූ අසිපත් (ෆොයිල්) කාණ්ඩයේ (කාන්තා) රන් පදක්කම දිනාගත් එම්. ඞී. එස්. කී‍්‍රඩා සමාජයේ රීටා ප‍්‍රකාශම් දක්ෂතම කඩු හරඹ කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන ලැබූහ.

මංජුල ප‍්‍රනාන්දු පිට පිටම ජාතික කඩු හරඹ තරගාවලියක දක්ෂතම ක‍්‍රීඩකයා බවට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මෙවර ඔහු දිනාගත් රන් පදක්කම පිට පිටම තරගාවලි 3 කදී දිනාගත් තෙවැනි රන් පදක්කමද වේ.

පිරිමි කණ්ඩායම් තරගයේදී ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය පරාජය කිරීමට යුනිචෙලා කී‍්‍රඩා සමාජය සමත්වූ අතර කාන්තා කණ්ඩායම් තරගයේදී එම්. ඞී. එස්. කී‍්‍රඩා සමාජය පරාජය කිරීමට ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය සමත්විය.

මින් පෙර පැවැති තරගාවලි තුනේදීම බර අසිපත් (එපී) කාණ්ඩයේ රන් පදක්කම දිනා සිටි ස්ලිම්ලයින් කි‍්‍රඩා සමජයේ නිරංජලා වීරරත්න මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ලීනියා කි‍්‍රඩා සමජයේ පියුමි හංසනී හමුවේ පරාජයට පත්වීමද මෙහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.

සැහැල්ලූ අසිපත් (ෆොයිල්), බර අසිපත් (එපී), දෙපිට මුවහත් අසිපත් (සේබර්) යන කාණ්ඩ 3 යටතේ පැවැති මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා අංශ සඳහා කේවල සහ කණ්ඩායම් වශයෙන් තරග පැවැත්විණ.  

කේවල අංශයේ මූලික වටයේ තරග වලදී එක් එක් අසිපත් කාණ්ඩ යටතේ (ෆොයිල්, එපී, සේබර්) ඉහළම දස්කම් දැක්වූ කී‍්‍රඩකයන් 8 දෙනා බැගින් තෝරාගෙන, ඔවුන්ව අර්ධ අවසන් පූර්ව වටයට යොමු කෙරුණු අතර ඉන් අනතුරුව පිළිමළුන් පිටු දැකීමේ ක‍්‍රමයට තරග පැවැත්විණ.

ජාතික කඩු හරඹ සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට මාස් සමූහ ව්‍යාපාරයේ ස්ලිම්ලයින්, යුනිචෙලා, සිලූවේටා, එම්. ඞී. එස්., තුරුලි, සදර්න්, ස්ලිම්ටෙක්ස්, රැපිඞ් සහ ලීනියා යන කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 127 ක් මෙම ශූරතාවලියට සහභාගී වූහ.

ජාතික කඩු හරඹ සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගී විය.

 

පිරිමි තරග ප‍්‍රතිඵල

සැහැල්ලූ අසිපත් (ෆොයිල්) කාණ්ඩය
සුපුන් සෙනෙවිරත්න (යුනිචෙලා) විසින් සුරේෂ් සුදර්ෂන (එම්. ඞී. එස්.) පරාජය කරන ලදි.

බර අසිපත් (එපී) කාණ්ඩය
දුෂාන් ළහිරු (ස්ලිම්ටෙක්ස්) විසින් විමුක්ති පතිරණ (ලීනියා) පරාජය කරන ලදි.

දෙපිට මුවහත් අසිපත් (සේබර්) කාණ්ඩය
මංජුල ප‍්‍රනාන්දු (යුනිචෙලා* විසින් සුරේෂ් චන්දන (යුනිචෙලා) පරාජය කරන ලදි.

කණ්ඩායම් තරගය
යුනිචෙලා කී‍්‍රඩා සමාජය විසින් ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි.

 

කාන්තා තරග ප‍්‍රතිඵල

සැහැල්ලූ අසිපත් (ෆොයිල්) කාණ්ඩය
රීටා ප‍්‍රකාෂම් (එම්. ඞී. එස්.) විසින් සංදීපා අශෝකා උදයංගනී (සිලූවේටා) පරාජය කරන ලදි.

බර අසිපත් (එපී) කාණ්ඩය
පියුමි හංසනී (ලීනියා) විසින් සන්දීපා සඳමාලි (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.

දෙපිට මුවහත් අසිපත් (සේබර්) කාණ්ඩය
අනුරුද්ධිකා ධනංජලී (ස්ලිම්ලයින්) විසින් චතුරිකා සෙනෙවිරත්න (ස්ලිම්ලයින්) පරාජය කරන ලදි.

කණ්ඩායම් තරගය
ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය විසින් එම්. ඞී. එස්. කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි.

 

සමස්ථ ශූරතාව දිනාගත් ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජ කණ්ඩායම

 

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා වූ යුනිචෙලා කී‍්‍රඩා සමාජයේ මංජුල ප‍්‍රනාන්දු, ජාතික කඩු හරඹ සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා අතින් සම්මාන ලබාගත් අවස්ථාව

 

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව වූ එම්. ඞී. එස්. කී‍්‍රඩා සමාජයේ රීටා ප‍්‍රකාෂම්, ජාතික කඩු හරඹ සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා අතින් සම්මාන ලබාගත් අවස්ථාව

 

 

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

යුනිචෙලා කී‍්‍රඩා සමාජය ජාතික ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.