Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් පසුපෙළ පිතිකරුවන් සමග සටනට බසී

මැතිව්ස් පසුපෙළ පිතිකරුවන් සමග සටනට බසී

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත පිල ලබාගත් ලකුණු 575 ට පිළිතුරු සොයා යන ශ්‍රී ලංකා පිලේ 7 වැනි කඩුල්ලත් ලකුණු 413 දී බිඳ වැටුණ හෙයින් තරමක අසීරුතාවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පසුපෙළ පිතිකරුවකු වන රංගන හේරත් සමග එක්ව ශ්‍රී ලංකා පිල ගොඩගැනීමේ වෙහෙසකර සටනක නිරතව සිටියේය. තරගයේ තුන්වැනි දිනය වන අද සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල කඩුලු 7 ක් දැවී ලකුණු 415 ක් ලබා සිටියේය.

නායකයකුගේ වගකීම මනාව වටහාගෙන තිබූ ඇන්ජලෝ මැතිව්ස්, පන්දු 127 කට මුහුණ දෙමින්, හතරේ පහර 8 ක්ද සහිතව, නොදැවී ලකුණු 79 ක් ලබා සිටි අතර කුමාර් සංගක්කාර සහ මැතිව්ස් දෙදෙනා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාවේ වටිනාකමද ලකුණු 96 ක් විය.

අද සවස තේ පානයෙන් අනතුරුව කඩුලු 4 ක් දැවී ලකුණු 375 පසුකර ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ මූලික ඉලක්කය පසුකර ගියේ පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අසීරුතාවෙන් මිදෙමිනි. එහෙත්  එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 575 ට වඩා ශ්‍රී ලංකා පිල තවමත් ලකුණු 160 ක් පසුපසින් සිටී.

තරගයේ තවත් සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබෙන හෙයින් පළමු ඉනිමේදී එංගලන්ත පිලේ වාසිය අවම කිරීම ශ්‍රී ලංකා පිලේ සැනසීමට හේතුවනු නිසැකය.

ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවකු ලෙසින් සම්මානයට පාත්‍ර වී සිටිමින් ලෝඩ්ස් පිටියේදී ටෙස්ට් ශතකයක් ලබා ගැනීමේ අභියෝගයට අති විශිෂ්ට ආකාරයෙන් මුහුණ දුන් කුමාර් සංගක්කාර  තරගයේ තුන්වැනි දිනය වන අද  තම ඉලක්කය සපුරා ගත්තේය. එහෙත් ලකුණු 147 ක් ලබා සිටියදී මුයින් අලීගේ පන්දුවකට බැක් කට් පහරක් ගැසීමට ගිය සංගක්කාරගේ පිත්තේ යාන්තමින් ගැටුණු පන්දුව මැතිව් ප්‍රයර් අත පත්වීම නිසා පන්දු 258 කට පසුව සංගාගේ ඉනිම නිමා විය.

අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් ජෝ රූට්ගේ පන්දුවක් හත‍ෙරේ සීමාවට යැවූ සංගක්කාර සිය ශතකය ලබාගැනීමත් සමගින් ක්‍රීඩාගාරය දෙසට හැරී පිත්ත ඔසවා ආචාර කරද්දී පසුපසින් දිව ආ මහේල ජයවර්ධන කුඩා දරුවකු සිය පියාගේ උරිස්සට පනින්නාක් මෙන් සංගක්කාර වෙතට පැන සිය සගයා වැළඳ ගනිමින් සතුට පළකළේය.

සංගක්කාරගේ ඉනිමට හතරේ පහර 16 ක් ඇතුළත් වූ අතර පන්දු 105 කට මුහුණ දුන් මහේල ජයවර්ධන එයින් 7 ක්ම හතරේ සීමාවට යවමින් ලකුණු 55 ක් ලබාගත්තේය.මෙම ටෙස්ට් තරගයේදී ඔවුන් දෙදෙනා ගොඩනැංවූයේ තම 17 වැනි ශතක සම්බන්ධතාව වන අතර එය ලකුණු 126 ක් විය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මේ වන විට ලෝකයේ හොඳම ටෙස්ට් සම්බන්ධතා පැවැත්වූ පිතිකරුවන්ගේ ලයිස්තුවේ 3 වැනි ස්ථානය හිමිකරගෙන සිටිති.

මේ වන විට ටෙස්ට් තරග 112 කදී එක්ව කී‍්‍රඩා කරමින් ලකුණු 6115 ක සම්බන්ධතා ගොඩනංවා සිටින මහේල සහ සංගක්කාර දෙදෙනාට ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඞ් (6920) දෙදෙනාත් අසූව දශකයේදී කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් යුගළය වූ ගෝර්ඞ්න් ගි‍්‍රනිජ් සහ ඩෙස්මන්ඞ් හේන්ස් (6482) දෙදෙනාත්ය. .

දිමුත් කරුණාරත්න දැවී යාමෙන් පසුව ඊයේ (13 වැනිදා) සවස පිටියට පිවිසි සංගක්කාරගේ කඩුල්ල අද දිනය (තරගයේ 3 වැනි දිනය) වෙනුවෙන් ආරක්ෂා කරගැනීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කළ කෙෳෂාල් සිල්වා පන්දුවට පහර දීමේ අවස්ථාව වැඩිපුර තමන් වෙත රඳවා ගනිමින් සංගක්කාර පන්දු යවන්නාගේ අන්තයේ තැබීය. දිමුත් කරුණාරත්ගේ දැවී යාමෙන් පසු දෙවැනි දිනයේ ක්‍රීඩාව නතර කරන තුරු කෙෳෂාල් පන්දු 104 කට මුහුණ දෙමින් ලකුණු 46 ක් ලබාගනිද්දී සංගක්කාර පන්දු 61 කින් ලකුණු 32 ක් ලබා තිබිණ.

ඉතාමත් හොඳින් පුල් සහ හුක් පහර ගසන ක්‍රීඩකයකු වුවද කණ්ඩායමේ අවශ්‍යතා වෙනුවෙන් තම පහර පාලනය කරගත් කෙෳෂාල්ගේ පිත්තේ දාරයේ වැදී ගිය ඇන්ඩසන්ගේ බවුන්සර් පන්දුව උඩපන්දුවක් ලෙස රැක ගැනීමට එංගලන්ත කඩුලූ රකින්නා වන මැතිව් ප‍්‍රයර් සමත්වීමත් සමග සංගක්කාර සහ කෞෂාල් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවති සම්බන්ධතාව ලකුණු 97 කට සීමා විය.

කෙසේ වෙතත් ඒ වන විට තණතීරුවේ සාමාන්‍යයෙන් පවතින උදෑසන පින්න සහිත බව වියළී ගොස් තිබූ හෙයින් අනතුරුව පැමිණෙන පිතිකරුවා වෙනුවෙන් කෙෳෂාල් සිය වගකීම් කොටස ඉටුකර තිබිණ.

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා


අදහස් (2)

මැතිව්ස් පසුපෙළ පිතිකරුවන් සමග සටනට බසී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.