Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහේෂ් තීක්‍ෂණ ටෙස්ට් දොරටුව අබියස
වෝන් - මුරලි කුසලාන

මහේෂ් තීක්‍ෂණ ටෙස්ට් දොරටුව අබියස

editorial - 2022 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට)

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙමින් තිබේ. තමන්ගේ දඟ පන්දු යවන්නන්ට යෝග්‍යවන පරිදි, ගාල්ල ක්‍රීඩාංගණයේදී දඟ කැවෙන තණතීරුවක් සකස් කළ නමුත් පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවටම එය පාරා වළල්ලක් විය. 

පළමු තරගයේදී කඩුලු 10 ක ජයක් අත්කරගත් ඕස්ටේ්‍රලියානුවෝ, වෝන් - මුරලි කුසලාන තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණට පැමිණියහ. 

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (8 වැනිදා) ආරම්භ වීමට නියමිත වෝන් - මුරලි කුසලාන තරගාවලියේ දෙවැනි තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ සිව්දෙනකුම කොරෝනා ආසාදිතයන්ගේ ලයිස්තුවට එක්ව සිටිති. 

බදාදා සවස් වරුවේදී කරන ලද ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණ අනුව ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ සහ අසිත ප්‍රනාන්දු කොරෝනා ආසාදිතයන්ගේ ලයිස්තුවට එක්වූහ. ඊට පෙර දිනයේදී ප්‍රවීන් ජයවික්‍රම කොරෝනා ආසාදිතයකු විය. මේ සිව්දෙනා සංචිතයෙන් වෙන්කර තබා වෙනත් හෝටලයක නවාතැන් ගැන්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු, දුනිත් වෙල්ලාගේ, මහේෂ් තීක්‍ෂණ, ප්‍රභාත් ජයසූරිය සහ ලක්ෂිත මානසිංහ සමග අවසන් මොහොතේදී ලක්ෂාන් සඳකැන්ද ටෙස්ට් සංචිතයට කැඳවූහ. 

ශ්‍රී ලංකාවට ඇති එකම සැනසීම වන්නේ පෙරේදා කරන ලද ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් කොරෝනා වයිරසයෙන් නිදහස් බව වටහා ගැනීම පමණි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අද (07 වැනිදා) පස්වරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කියා සිටියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වූ නමුත් මෙම තරගයේදීත් දඟ පන්දු යවන්නන් කෙරෙහිම බලාපොරොත්තු තබන බවයි. දිමුත්ගේ එම ප්‍රකාශය පසුපස සැඟවී ඇත්තේ මහේෂ් තීක්‍ෂණ හෝ දුනිත් වෙල්ලාලගේ, නැතහොත් ඒ දෙදෙනාම සිය මංගල ටෙස්ට් හිස්වැස්ම පැළඳීමට සූදානම් කෙරෙමින් තිබෙන බවද විය හැකිය. 

දුනිත් වෙල්ලාගේගේ පිතිහරඹ හැකියාව ඒ වෙනුවෙන් වැඩි බලපෑමක් කිරීමේ වැඩි ඉඩකඩක් තිබේ. ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනාම සංචිතයේ නොමැති බැවින්, වමත් දඟ පන්දු යවන්නකු වශයෙන් වෙල්ලාලගේ කණ්ඩායමට එක්වන්නේ නම් ඔහුගේ ස්ථානයේ අතිරේක වටිනාකමක් තිබෙනු ඇත. 

කෙසේ වෙතත් කාලයක් තිස්සේ ටෙස්ට් සංචිතයේ සිටින කමිඳු මෙන්ඩිස්ද පිතිකරුවාගේ ස්ථානය සඳහා වැඩි තෙරපීමක් කරමින් සිටී. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ හිටපු නායකයාද වන කමිඳු මෙන්ඩිස්, පළමු පෙළ තරග 23 කදී, ශතක 6 ක් සහ අර්ධ ශතක 12 ක් සමගින්, ලකුණු 2074 ක් ලබා සිටී. කමිඳු මෙන්ඩිස්ගේ පළමු පෙළ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 61.00 කි. 

“මේක හරිම අමාරු අවස්ථාවක්. අපි සාමාන්‍යයෙන් තරගයක් සඳහා සූදානම් වෙන්නේ දවස් දෙකකට විතර කලින් ඉඳලා. ඒත් අන්තිම මොහොතේදී මේ වගේ දේවල් වුණාම අපට අවසන් 11 දෙනා තෝරාගන්නත් සෑහෙන්න ප්‍රශ්නයක් වෙනවා” යයි දිමුත් කරුණරත්න කීවේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේදී තවත් ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂාවකට ලක්වීමට නියමිතව තිබිණ. එය අතිශයින් තීරණාත්මක පරීක්‍ෂණයක් වූයේ එහි ප්‍රතිඵල පැමිණීමට පෙරම නායකයා පීඩනයට පත්ව සිටීමයි. 

“මේ සංචිතයේ දඟ පන්දු යවන්නන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඇන්ටිජන් ටෙස්ට් එකෙන් එයාලා නිදහස් වුණොත් වමත් දඟ පන්දු යවන්නකු වශයෙන් ප්‍රභාත් ජයසූරිය යොදාගන්නත් අපට පුළුවන්. ඒ වගේම මහේෂ් තීක්‍ෂණත්, මොකද ධනංජය නැති නිසා අපට දෙවැනි පිට දඟ පන්දු යවන්නෙක් නැති වෙනවා” 

“ඕස්ටේ්‍රලියානු පිතිකරු ලයිස්තුවේ ඉහළින් වමත් පිතිකරුවන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ නිසා අපට දෙවැනි පිට දඟ පන්දු යවන්නෙක් ඕනෑ වෙනවා” යයි ද දිමුත් කරුණාරත්න කීවේය. 

“කෙහොම වුණත් අපි තුන්වැනි දඟ පන්දු යවන්නා ගැන දැන්ම හිතන්න යන්නේ නෑ. ඉස්සෙල්ලාම අපි කොරෝනා පරීක්‍ෂණ ටික කරගන්න ඕනා. ඒවායේ ප්‍රතිඵළ අනුව තමයි අපි වෙල්ලාලගේව හරි සඳකැන්ව හරි ඇතුළට ගන්නවාද කියලා තිීරණය කරන්නේ” යයිද ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පැවසීය. 

මහීෂ් තීක්‍ෂණ අන්තර්ජාතික තරග බිමේ තමන්ගේ තත්ත්වය හොඳින්ම තහවුරු කළ ක්‍රීඩකයෙකි. එහෙත් තවමත් ටෙස්ට් වරම් ලබා නැත. අනෙක් අතට, තවමත් 19 හැවිරිදි දුනිත් වෙල්ලාගේ, නිමාවූ ඕස්ටේ්‍රලියානු පිලට එරෙහි එක්දින තරගාවලිය අවසන් කළේ එහි වැඩිම කඩුලු ලාභියා ලෙසිනි. 

සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවට වඩා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් වෙනස් වන නමුත් මහේෂ් තීක්‍ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකයාට දැඩි විශ්වාසයක් තිබේ. 

“එයා හොඳ පන්දු යවන්නෙක්. එක්දින තරගාවලියෙදි එයා වමත් පිතිකරුවන් විතරක් නෙමේ දකුණත් පිතිකරුවන්වත් කරදරයක් වුණා. මේ තරගයේදීත් එයා ඒකම කරාවි කියලා අපි විශ්වාස කරනවා. අපට ඕනේ එයා එක්දින තරගාවලියෙදි කරපු දේම මේ  තරගයේදීත් කරන්නයි” යයි ද දිමුත් කරුණාරත්න පැවසීය. 

නායකයා වන පැට් කමින්ස් වේග පන්දු යවන්නකු වන හෙයින් ඕස්ටේ්‍රලියනු පිලට වේග පන්දු යවන්නකු කොහොමත් සිටී. එහෙත් පළමු තරගයේදී මිචෙල් ස්ටාක් යැවූයේ ඕවර 11 ක් පමණි. එවන් තත්ත්වයක් යටතේ දෙවැනි වේග පන්දු යවන්නන් දෙදෙනකු අනවශ්‍ය යයි ඕස්ටේ්‍රලියානුවන් කල්පනා කළ හැකිය. එසේ වුවහොත් මෙම තරගය සඳහා 8 වැනි පිතිකරුවා ලෙසින් ග්ලෙන් මැක්ස්වෙල් එක්වීමේ අවකාශයක්ද තිබේ. ඔහුට දඟ පන්දු යැවීමේ හැකියාවත් තිබෙන බැවින්, ශ්‍රී ලංකාව හමුවේ කවදත් විනාශයක් කිරීමට සමත් මේ පිට දඟ පන්දු යවන්නාගෙන් පරෙස්සම් විය යුතුව ඇත. 

ශ්‍රී ලංකා සංචිතය 
දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, කසුන් රාජිත, නිරෝෂන් දික්වැල්ල, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, චාමික කරුණරත්න, ඩිල්ෂාන් මධුශංක, 
කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාගේ, මහීෂ් තීක්‍ෂණ, ප්‍රභාත් ජයසූරිය සහ ලක්ෂිත මානසිංහ

ඕස්ට්‍රේලියානු සංචිතය
ඬේවිඞ් වෝනර්, උස්මන් කවාජා, මානස් ලැබුෂේන්, ස්ටීවන් ස්මිත්, කැමරන් ග්‍රීන්, ඇලෙක්ස් කේරි, ග්ලෙන් මැක්ස්වෙල්, මිචෙල් ස්වෙප්සන්, පැට් කමින්ස් (නායක), නේතන් ලයන්, මිචෙල් ස්ටාක්, ස්කොට් බෝලන්ඞ්, ජොස් හේසල්වුඞ්, ට්‍රැවිස් හෙඞ්, ජොෂ් ඉංග්ලිෂ්, මිචෙල් මාෂ් සහ ජොනතන් හොලන්ඞ්

 


අදහස් (0)

මහේෂ් තීක්‍ෂණ ටෙස්ට් දොරටුව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.