
(නාමල් පතිරගේ)
ජාතික පුහුණු සංචිතය සඳහා විදුලි උපකරණ මිල දී ගැනීමේ දී ශීතකරණයක් හා විදුලි පංකාවක් සිය පෞද්ගලික නමට මිලදී ගැනීම ඇතුළුව රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් ලැබූ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ හිටපු ඉහළ පෙලේ නිලධාරියෙකුට ඉදිරියේ දී එහි කිසිදු තනතුරක් දැරීම තහනම් කරමින් ක්‍රීඩා ඇමැතිවරයාගේ අභියාචනා කමිටුව දඬුවම් නිර්දේශ කර තිබේ.
කෙසේ වුවත් මෙම දඬුවම ළිහිල් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයාට සුදුසු යයි හැඟෙන්නේ නම් ඊට අභියාචනා කමිටුවේ විරෝධයක් නොමැති බවත් ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයෙන් පසුව සිය නිර්දේශ ඉදිරිපත් කරන බව ක්‍රීඩා ඇමැතිවරයාගේ අභියාචනා කමිටුවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා පවසයි.
ඩිනාල් ෆිලිප්ස්, චන්දන ජයසුන්දර, අරිත වික්‍රමනායක හා සිදත් වෙත්තමුණි යන මහත්වරු මෙම විමර්ශනයේ නිර්දේශ ලබාදුන් අභියාචනා කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
‘‘2021 ජනවාරි 27 වැනිදා පැවැති මල්ලවපොර සම්මේලනයේ නිලවරණය අවසන්වී මාස හතරකට පසුව, 2019 වසරේ බිල්පත් හා වියදම් වාර්තා කිරීම’’ මැයෙන් කොළඹ දිස්ත්‍රික් මල්ලපොර සංගමයේ ලේකම් එච්.එම්. ලක්ෂ්මන් මහතා කළ පැමිණිල්ලක් අනුව අභියාචනා කමිටුව මෙම විමර්ශනය කළේය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ උක්ත අභියාචනා කමිටුව විමර්ශනය හමුවේ ලබාදුන් නිගමන වාර්තාවේ පිටපතක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට කටයුතු කර තිබේ.
සාග් ක්‍රීඩා උළෙලේ සහභාගිත්වය වෙනුවෙන් මල්ලවපොර සම්මේලනයට ක්‍රීඩා අමාත්‍යාංශය දුන් මුදල් අවභාවිතා කර ඇතැයි එහිදී හිටපු නිලධාරියාට චෝදනා නැගේ.
සිය පෞද්ගලික නමට මෙන්ම සැඟවුණු නම් යොදා මිලදී ගැනීම් කිරීම, එහිදී වැය බිල්පත් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමේදී නිකුත් කළ වසර වෙනස් කිරීම, අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසුව වැය බිල්පත් ඉදිරිපත් කර සිටීම යන කාරණා කීපයක් මුල්කර ගනිමින් මල්ලවපොර සම්මේලනයේ හිටපු නිලධාරියාට එරෙහිව එච්.එම්. ලක්ෂ්මන් මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කර තිබුණි. ඒ සම්බන්ධයෙන් සිය නිගමන හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙන අභියාචනා කමිටුව ඔහුට මල්ලවපොර සම්මේලනයේ කිසිදු තනතුරක් දැරීම තහනම් කරමින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
අභියාචනා කමිටුවේ නිගමනයන් මගින් වැඩිදුරටත් කියා සිටින්නේ 2019 වසරේ පවත්වන ලද 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා මල්ලව පොර තරගාවලියට අදාළ මිලදී ගැනීමේ බිල්පත් මල්ලවපොර සම්මේලනය විසින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ 2021 මාර්තු 24 වැනිදා බව සනාථවී තිබෙන බවයි. ඒ අතර පැමිණිලිකරු ගොනු කළ අභියාචනය නොවන්නට එකී බිල්පත් ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම පැහැර හැරීමේ තත්ත්වයක් උද්ගතවීමට ඉඩ තිබූ බව ද අවධාරණය කරන අභියාචනා කමිටුව මෙම සියලු චෝදනා පැමිණිලිකරු චෝදනාලාභියාගේ නමින්ම ඉදිරිපත් කර ඇති බැවින් මල්ලපොර සම්මේලනයේ ඉහළ පෙළේ තනතුරක් දැරූ එහි හිටපු නිලධාරියා වරදකරු වන බව සිය අවසන් නිර්දේශය ලබාදෙන අභියාචනා කමිටුව අවධාරණය කරයි.
13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාව මල්ලව පොර ක්‍රීඩාවෙන් රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 7ක් හා එක් ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.