Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මෑතකදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රවේගකාරි පිතිකරුවකු වන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට ගෙන තිබූ තීරණය වෙනස් කර ඇත. ඒ අනුව ඔහු සිය සමුගැනීම පිළිබඳව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යැවූ ලිපිය ඉල්ලා අස්කර ගැනීමටද පියවර ගෙන ඇත.
මේ මස 3 වැනිදා යොමුකළ සමුගැනීමේ ලිපිය ඉල්ලා අස්කර ගැනීම සඳහා භානුක අද (13 වැනිදා) යොමුකළ ලිපියේ තවදුරටත් තමා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්ව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එක්දින ජාත්‍යන්තර තරග 5 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 89 රැස්කරගෙන ඇති භානුක, විස්සයි-20 ජාත්‍යන්තර තරග 18 කදී අර්ධ ශතක 2 ක් සමග ලබාගෙන ඇත්තේ ලකුණු 320 කි. එක්දින තරගයකදී භානුකගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 17.8 ක් වන අතර විස්සයි-20 තරගයක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 26.66 කි.
ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සමග ඊයේ (12 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකින් පසුව භානුක සිය තීරණය වෙනස් කර ඇත. තමාට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට පාදක වූ කරුණු කාරණා පිළිබඳව එහිදී ඔහු ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කර ඇතැයි වාර්තා වේ.
තමාගේ ශරීරයේ මේද තට්ටුව අපේක්‍ෂිත මට්ටමට වඩා වැඩි බැවින් එය අඩුකර ගැනීම සඳහා යම් කාලයක් ලබාදෙන ලෙස භානුක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට පෙර භානුක සිය සමුගැනීම ප්‍රකාශ කළේය. එම පරීක්ෂණයට සහභාගි වීමෙන්ද ඔහු වැළකී සිටියේය.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලිය සඳහා තෝරාගනු ලැබ සිටි වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ කළණ පෙරේරා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී සමෙහි මේද තට්ටුව වැඩි බවට තහවුරු වීමත් සමග සංචිතයෙන් ඉවතට විසිවූහ.
කෙසේ වුවත් සිය තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ක්‍රීඩා ආමාත්‍යවරයා භානුකගෙන් ලිඛිත ඉල්ලීමක් කළ අතර සනත් ජයසූරිය සහ ලසිත් මාලිංග වැනි හිටපු ක්‍රීඩකයන්ද විවිධ මාධ්‍යයන් ඔස්සේ ඒ සම්බන්ධයෙන් අදහස් පළකර තිබිණ.
භානුකගේ හදිසි සමුගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එවන් තීරණ සම්බන්ධයෙන් සිය ස්ථාවරය වෙනස් කරමින් නව නීති රෙගුලාසි කිහිපයක් හඳුන්වා දීමටද පියවර ගත්තේය. එහි එක් ප්‍රතිඵලයක් ලෙස භානුක ඇතුළු ක්‍රීඩකයන් 7 දෙනෙකුට බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා අවශ්‍ය විරෝධතා නොදැක්විමේ ලිපි නිකුත් නොකිරීමටද ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.