Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශය අවදානම් අඩවියක

බංග්ලාදේශය අවදානම් අඩවියක

editorial - 2021 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ ක්‍රීඩා කරන බංග්ලාදේශය සිය පළමු තරගයේදීම ස්කොට්ලන්තය හමුවේ පරාජය වීමෙන් අලි අමාරුවක වැටී සිටී. තරගාවලියේ සත්කාරකයන් වන ඕමානය සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තරගයේදී යම් හෙයකින් බංග්ලාදේශය පරාජය වුවහොත් ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාවටත් (10) වඩා ඉදිරියෙන් සිටින බංග්ලාදේශය (6) තරගාවලියෙන් ඉවතට විසිවීමේ දොරටුවම තල්ලු වී යනු ඇත. 

ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී බංග්ලාදේශ බරපතළ ප්‍රශ්න කිහිපයකට මුහුණ දී සිටියේය. ප්‍රහාරාත්මක ඕවර 6 දී අවශ්‍ය තරම් හතරේ හෝ හයේ පහර නොමැති වීම, 7 වැනි ඕවරයත් 16 වැන්නත් අතර නිළකුණු පන්දු සංඛ්‍යාව වැඩි වීම සහ අවසන් ඕවර 5 දී නැවතත් හතරේ හයේ පහර හිඟ වීම බංග්ලාදේශ ඉනිමේදී තිබූ ප්‍රධානතම ප්‍රශ්න විය. 

ලකුණු 141 ක පහසු ඉලක්කයක් කරා යමින් සිටි බංග්ලාදේශය, ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවේදී ලබා සිටියේ කඩුලු 2 කට ලකුණු 25 කි. කඩුලු 6 ක් අතැතිව තිබූ නමුත් අවසන් ඕවර 5 න් බංග්ලාදේශයට ලබාගත හැකිවූයේ ලකුණු 47 කි. කෙසේ වෙතත් මෑතකදී පැවැති විස්සයි-20 තරග වලදී සිම්බාබ්වේ, ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය පරාජය කළ බංග්ලාදේශයේ මෙම ඇදවැටීම අදහාගත නොහැකි තරම්ය. 

අනෙක් අතට දුලිප් මෙන්ඩිස් මහතාගේ කොලු රෑන වන ඕමානය සිය පළමු ලෝක කුසලාන තරගයේදීම පැපුවා නිව්ගිනියාව පරාජය කරමින් කඩුලු 10 ක අති විශිෂ්ට ජයක් ලබාගත්තේය. ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැති තරග දෙකකදී පරාජය වූවත් ඒවායේදී උගත් පාඩම් ලෝක කුසලාන තරගයේදී ඕමාන  ක්‍රීඩකයෝ ජයග්‍රහණය සඳහා කදිමට උපයෝගී කරගත්හ.  

යම් හෙයකින් අද තරගය ජයගැනීමට ඕමානය සමත් වන්නේ නම් ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන වටයට සුදුසුකම් ලබාගැනීමට එය හොඳටම ප්‍රමාණවත් වනු ඇත. මෙම තත්ත්වය හමුවේ බංග්ලාදේශයට ඇත්තේ පහසු අභියෝගයක් නම් නොවේ. 
බංග්ලාදේශය සහ ඕමානය අතර තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වේ. 

අද තරගයේදී බංග්ලාදේශය ජයගතහොත්, ප්‍රසාද ලකුණු අනුව ඕමානයත් සමග සමතැන් ගැනීමට බංග්ලාදේශයට හැකිවන අතරම දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව තවදුරටත් රඳවාගත හැකිවනු ඇත. එහෙත් ඕමානය ජයගතහොත් සුදුසුකම් ලැබීමේ වටයේදී ස්කොට්ලන්තය ඉතිරි තරග දෙකම පරාජය වන තෙක් බලා සිටීමටත් පැපුවා නිව්ගිනියාවට එරෙහි තරගය ජයගැනීමටත් බංග්ලාදේශයට සිදුවනු ඇත. 


අදහස් (0)

බංග්ලාදේශය අවදානම් අඩවියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.